Sunday, July 17, 2011

ඔබට මතකද..? අතීතයට ගමනක්!


අද මම බ්ලොග් එකට ලිපියක් ලියන්න හිතුවේ නෑ. ඒත් හදිසියෙන්ම මට ලියන්න සිදු වුනා.

ප්‍රශ්ණයක් අහන්නං..?

ඔබට (අපට) අතීතයට යන්න පුළුවන්ද? කවුරුත් කියන්නේ “බෑ“ කියලා නේද?

ඒත් මට පුළුවන් වුනා අද අතීතයට යන්න. මාව අතීතයට ගෙනියන්න කෙනෙක්ට හැකි වුනා!

ඒ ගැනයි මේ කියන්න ලෑස්තිය.

තිස්සයියා, දුකා, වැම්පයර් නිතරම බ්ලොග් වල බස් වල බොහෝ පරණ දේ ගැන කතා කරනවා. මට වඩා දිග අතීතයක් ඔවුන්ට තිබුනත් ඔවුන් කතා කරන දේවල් සමහරක් මටත් මතකයි. ඒවා බොහෝ විට පරණ සිංදු.

ඊට අමතරව මම, රවා, ෆා, ඕනයා එහෙම “ඕල්ඩ් ඊස් ගෝල්ඩ්“ කියන එක තදින්ම විශ්වාස කරනවා කියලා මං දන්නවා! ටිකක් හරි ආශ්‍රය කරලා තියෙන නිසා! හැබැයි එක් එක අය එක එක දේවල් වලටයි කැමති. හින්දි සිංදු, සිංහල සින්දු, වෙස්ටර්න් ෆිල්ම්...  ඔබත් එහෙමම තමයි! අපි කවුරුත් එහෙමයි!

හැබැයි සිංදුවකටවත් ගෙනියන්න බැරි අතීතයකට මාව ගෙන ගියපු සංගීත කණ්ඩයක් අද මට හමු වුනා. ඒ “විදුර මහේන්ද්‍ර“ කියලා සයිබරයේ තවත් නොදුටු අලුත් මිතුරෙකු මගින්.

මේ සංගීත කණ්ඩය කොච්චර නම් අතීතයකට මාව ගෙනිච්චද?

ඒ කාලේ... මං පුංචි කාලේ... ඉස්කෝලේ යන්න නැගිටින්න ටිකකට කලින්ම... ඇඳේ ඉඳිද්දිම මට ඇහුණු ඒ පුරුදු සංගීතය මට අද ඇහුණා. මං ඒ අතීතෙට ගියා.

ඒ තමයි උදේ පාන්දර...

තාත්තයි අම්මයි හත් අට වතාව කතා කරලා මාවයි නංගිවයි උදේට නැගිට්ටවන්න උත්සහ කරන හැටි... අමාරුවෙන් ඇඟ මැලි කඩ කඩ අපි නැගිටින හැටි... ඒ දවස් වල අපි හතර දෙනාම නිදා ගත්තේ එක කාමරේ ඇඳං දෙකක් ලං කරලා හදා ගත්ත එක ඇඳේ... ලොකු නෙට් එකකුත් දාලා තිබ්බා...

ඒ කාලයේ උදේ කියන්නේ අද වගේ නෙවෙයි. බොහෝ වෙනස්. හරිම නිස්කලංකයි. සොම්‍යයි. කියන්න තේරෙන්නේ නැති අමුතු ලස්සනක් ඒ උදේ තිබ්බා. මට වචන එන්නේ නෑ කියන්න. ඒ වෙනුවට මං කල්පනා කරනවා. දැන් මේ ලියමන ලියන්න පටන් අරගෙනත් සෑහෙන්න වෙලාවක්! ඒත් ලියලා තියෙන්නේ ටිකයි! ඒතරං මං අතීතයට ගියා මේ සංගීත කණ්ඩය නිසා.

ඒ දවස් වල අපේ ගෙදර තිබ්බා හැටි යන්තමට වගේ මට මැවිලා පේනවා දැං... කොච්චර සුන්දරද... අම්මයි තාත්තයි මායි නංගියි හතර දෙනාම තාමත් ඒ දවස් වල ජීවත් වෙනවා වගේ මට හැඟෙනවා...

සංගීත කණ්ඩයකට පුළුවන්ද අපිව එච්චරම අතීතෙකට ගෙනියන්න. පුංචි කාලේ හැමදාකම ඇහිලා පුරදු කම නිසා වෙන්න ඇති ඉබේම ඒ කාලෙට අපිව ඇදෙන්නේ...

මට තව කියන්න දේ තියෙනවා. ඒත් කියන්න බෑ. මං ඒ වෙනුවට ඒ අතීතෙට යනවා. කළු සුදු චිත්‍රපටියක් වගේ හැඟෙන, අද තරං සංකීර්ණ නැති, අම්මගේ තාත්තගේ ආදරේ උපරිමයෙන්ම ලැබුණු, ඉතාම සැහැල්ලු, පුංචි කාලේ... ඒ ලස්සන අතීතයට මං යනවා!

ඒ හැඟිම මට විස්තර කරන්න බෑ...

අහන්න මේ හඬ. හැබැයි ඇස් පියා ගන්න. බලන්න ඔබත් අතීතයට යයිද කියලා... මන්දා... මම නං ගියා...

ඔබට මතකද...?



ප.ලි.:
විදුර මගේ නොදුටු මිත්‍රයා උඹට සෑහෙන්න පිං...!