Monday, November 22, 2010

දෙසක් රියේ චාරිකාව 3 - බුදුරුවගල


ආයුබෝවන් කිව්වා කස්ටියටම, කොහොමද සැප? සනීප? මාව අමතකාවෙලාවත්ද දන්නෑ.... ;-) කාලෙකින් බ්ලොග් එකේ ලිපියක් ලියන්න බැරි වුනා. දන්නෝ දනිති මං වනගත වෙලා හිටියේ කියලා. එහේට යහමින් ජාලේ තිබ්බෙත් නෑ කියන්‍නකො. සීඩීඇම්ඒ ෆෝන් කට්ටක් හම්බවුනා තමා, ඒකෙන් යාන්තං බස්(z) එක‍ට ගොඩවුනා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙලාවක් කලාවක් තිබුනේ නෑ නෙව. (රහසින් - බස්z එකේ උන්ටත් දැං බ්ලොග් ලිවිල්ල අමතක වෙලා J) වන ගත ජීවිතේ ගැන ලියන්න හිතන් හිටියත් ඒ සුන්දරත්වය ගැන කතා කරන්න කලින් හිතන්න ඕන රෙස්ට්‍රික්ෂන්ස් වගයක් තියෙනවා. ඒ නිසා ඒවා ගැන හිතලා වනගත ළමෝ ගැන පස්සේ වෙලාවක කියන්නම්. දැනට හිතාගන්නකෝ හිටියේ අධි ආරක්ෂිත කළාපයක කියලා.




දැං ලියන්න යන්නේ කැලෙන් එලියට ආපු දවසක ගියපු තවත් එක දෙසක් රියේ චාරිකාවක් ගැන.
මේ තමා බුදුරුවගල . ගොඩක් කස්ටිය අහලත් දැකලත් ගිහිල්ලත් ඇති. හැබැයි ඉතිං පුංචි කාලේ හරි ලොකු කාලේ හරි අධ්‍යාපන චාරිකා යනකොට ඉගෙන ගන්න දේවල් චාරිකාව අන්තිමේදී අමතකවෙන එක සාමාන්‍යදෙයක්නේ. ඒ නිසා ඒ මතකයන් අළුත් වෙන්නත් එක්ක සබ්ජෙක්ට් එක පැත්තටත් ‍ටිකක් නැඹුරු වෙලා මේ ලිපිය ලියන්න හිතුනා. කාටහරි කොයි වෙලේ හරි ඕන වෙන්නේ නැතෑ.

මේ චාරිකාව යද්දී නං ඉතිං මගේ හුරුපුරුදු ගමන් සහායිකාව වන බ්ලොගී හිටියේ නෑ. මාත් එක්ක මේ චාරිකාවට සම්බන්ද වුනේ වනගත වෙලා හිටපු මගේ අනිත් සගයා. දිනය මතකේ හිටිය‍ට පහුගිය ඔක්තෝබර් 18 වෙන්න ඕන. එදා දවසේ කැලේ අපිට කරන්න තිබ්බ වැඩේ කැන්සල් වුනා. ඒ නිසා මායි මගේ සගයයි දෙන්නා හිතුවා බුදුරුවගල යමු කියලා. අපි හිටපු තැනින් කිලෝමීටර් 35ක් විතර ඈතින් තමයි බුදුරුවගල තියෙන්නේ.

බදුල්ල බණ්ඩාරවෙල ඉඳන්  එනවා නං වැල්ලවාය නගරය පහුකරලා කිලෝමීටර 5ක් විතර එනකොට, එහෙම නැත්තං කතරගම, තිස්ස, හම්බන්තොට වගේ පැතිවල ඉඳලා එනවා නම් වැල්ලවායට කිලෝමීටර් 5ක් මෙපිටින් බුදුරුවගල මංසංදිය හමුවෙනවා. අඳුරගන්න හරිම ලේසියි. සංචාරක නිවාසයක් වගේම, බුදුරුවගල ඉස්කෝලෙත් තියෙන්නේ ඒ මංසංදියේම තමයි. එතනින් කැලේ ඇතුලට තියෙන පාරේ කිලෝ මීටර් 5ක් 6ක් යනකොට තමයි බුදුරුවගල හමුවෙන්නේ. 

ඉස්සරවගේ නෙමෙයි, පාරවල් එහෙම සෑහෙන දුරට හොඳනිසා ඕනෑම වාහනයකට මේ පාරේ යන්න පුළුවන්. අපියනකොටත් විදේශිකයන් කාණ්ඩ කිහිපයක්ම රෝසා බස් වල බුදුරුවගල බලලා ආපහු එමින් හිටියා. පාර ටිකක් කර්කෂ වුනත් බුදුරුවගල ජලාශය කිට්ටුවෙන අතරම ගස් කොලන් සෑහෙන්න පිරිච්ච ඉසව්වකින් යන්න වෙන නිසා ලොකු විඩාවක් දැනෙන්නේ නෑ. බුදුරුවගල ජලාශය හරිම ලස්සනයි. ඒත් අපි එතන නැවතුනේ ආපහු එන ගමනෙදීයි.

ජලාශේ පහුවෙනවත් එක්කම පරිසරය ගොඩක් නිහඬ වෙනවා. හරිම පාළුයි. ඉස්සර නම් මේ පැත්තේ සෑහෙන්න අලි එහෙමත් ඉඳලා තියෙනවා දැන් එච්චර නැති වුනාට.  බුදුරුවගලට ඔන්න මෙන්න කියලා තියෙද්දී පැරණි දාගැබක නටඹුන් පැත්තකින් දකින්න ලැබෙනවා. හැබැයි ඒ ගැන වැඩිපුර විස්තර නම් දැනගන්න ලැබුණේ නෑ.


එතනින් තව පුංචි දුරක් ගියාම බුදුරුවගල විහාරස්ථානයත් එක්කම වාහන ගාල් කරන තැන හම්බවෙනවා. අපි එතන අපේ අස්සයාව නවත්තලා පයින් බුදුරුවගල පැත්තට ඇවිද්දා. මෙතනින් එහාට තියෙන පඩිපෙල ගරා වැටිලා තිබ්බ අවධියක පුරාවිද්‍යා එකෙන් ඓතිහාසික බව සුරැකෙන විදිහට පඩිපෙල සෑහෙන්න නවීකරණය කරලා තියෙනවා. 



මේ හරියේ ඉන්නවා හරිම අපූරු බලු යාළුවෙක්. මෙයා අපිත් එක්ක අපේ බුදුරුවගල පුරාම ඇවිද්දා. ඒක එයාගේ පුරුද්දක්ලු. සමහරවිට දවසක ඔයාලටත් එයාව හම්බවේවි.

ඔන්න දැන් අපිට බුදුරුවගල පේනවා. සෑහෙක විශාල පර්වතයක් තමයි පිළිම නෙලලා තියෙන්නේ. ටිකක් ඈතින් පිංතූරේ ගත්තේ ඔය පර්වතය හොඳට පේන්න ඕන නිසා.




ඔය විශාල පර්වතයත් පිහිටලා තියෙන්නේ ඇතෙකුගේ ශරීරයේ හැඩයටයි. පිට පුදේශය, හිස, හොඬවැල ආශ්‍රිත ප්‍රදේශයත් එතනදී හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන්. 

බුදුරුවගල කියන්නේ ඉස්සර නම් ජනාවාස නැති කැලේ මැද්දේ තනි වුණ අපේ උරුමයක්. ඒත් දැන් ටිකක් ආසන්නය‍ට ජනාවාස ඇති වුනත් බුදුරුවලග තාමත් කැලේ මැද්දේ තනි වෙලා. මං කියවපු මූලාශ්‍රවල‍ට අනුව මේ අවට තියෙන නටඹුන් පවා තාම හරිආකාරව පුරාවිද්‍යා අධ්‍යයනයන්ද ලක් වෙලා නැහැ. ඒ නිසාද දන්නෑ දේශීය මෙන්න විදේශීය සංචාරකයන් පවා මේ ප්‍රදේශයට වැඩිපුර නොඑන තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒත් හොඳම කතාව ඒක නෙමෙයි, තලේබාන්වරුන් විසින් විනාසකරපු ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා වලට පස්සේ ඉතිරිව තියෙන ඒවාගෙන් විශාලතම ශෛලමය ප්‍රතිමා වන්නේ බුදුරුවල හැටියටයි සැලකෙන්නේ. ඒ නිසාම මෙය බලන්න වටිනම අඩවියක්.

අපි දැන් ටිකක් පර්වතය ලඟට යමු. මැද තියෙන්නේ බුදුරුවගල බුදු පිළිමයයි. එහෙම කියන්නට හේතුව අනෙක් පිළිම එකක් වත් බුදුපිළිම නොවන නිසයි. ඒ ගැන පසුවට කතා කරමු.



ලංකාවේ ථේරවාදය මුල්තැන ගෙන තිබුනත් මෙම බුදුපිළිම මහායානිකයන් විසින් වන්දනාමාන කිරීම සඳහා නිමැවූ බවයි පිළිගැනෙන්නේ. ඒ අතර උසින් මීටර් 13 වෙන මෙම පිළිමය දීපංකර බුදුන්ගේ බවයි පිළිගැනීම. නමුත් කඹුරුපිටියේ වනරතන හිමියන් මෙය ධ්‍යානී බුදුවරයකු වන අමිතාභ බුදුන් ලෙස අර්ථදක්වන බව මාලිංග අමරසිංහ (කැළණිය විශ්වවිද්‍යාලයේ ‍පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය) මහතා එතුමන් විසින් බදුරුවගල පිළිබඳ ලියා ඇති කෘතියෙන් හෙළිදරව් කරනවා. ඒත් එක්කම මේ බුදු පිළිමයෙන් සමභංග ඉරියව්ව නිරූපනය වෙන බවත් දකුණු අතින් අභය මුද්‍රාවත් පිළිබිඹු වන බව කියැවෙනවා. අවුකන වගේ  බුදුපිළිම වල ගලෙන්ම සිවුරේ රැළි නිර්මාණය කර තිබුනත් මේ බුදුපිළිමයේ බදාම තවරා ඒ මත පාට වලින් රැළි නිරූපණය කර තිබෙන බවත් තමයි කියැවෙන්නේ.

මේ බුදුපිළිමයත් එක්කම වම් පැත්තෙන් ගල් කුහරයක් තියෙනවා. කලකට කලින් මේ කුහරයෙන් තෙල් බේරුණු බවත් ඒ තෙල් හිස ගෑමෙන් ලෙඩදුක් නැතිවෙනබවටත් පිළිගැනීමක් තිබුනාලු. අදටත් තෙල් සාරය ගල් කුහරය ඇතුලේ තිබුනත් ‍අතේ ගෑවෙන්න තරම්ම එය පුමාණවත් නෑ. මමත ඉතිං කෝකටත් කියලා තෙල් සාරය ඔලුවේ ගාගත්තා. අපි නොදන්න මොන ලෙඩ අපිට තියෙනවාද දන්නෑනේ... 

 
දැන් අපි බලන්න ලෑස්ති වෙන්නේ, බුදු පිළීමයට වම්පසින් තියෙන පිළිම දිහාවයි.



වම් පැත්තෙන් තියෙන පිළිම තුනෙන් මැද තියෙන්නේ උඩුකය නිරුවත්, සමභංග ඉරියව්වෙන් යුත්, දෑතින් කටක මුද්‍රාව නිරූපනය වන මීටර් 7.1 අස යෝගී අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාවයි. සුදු පැහැති බදාමයකින් මේ ප්‍රතිමාව ලස්සන කරන්නත් සෑහෙන උත්සහ කරලා තියෙනවා. මහායානයේ දී අවලෝකිතේෂ්වර නිරූපනය කරන්නේ රන්වන් පැහැයෙන් වීම ඊට හේතුව බවයි මං අර කලින් කියපු පොතේත් සඳහන් වෙන්නේ.

මේ බෝධිසත්ව ප්‍රතිමාවට දකුණුපැත්තෙන් තියෙන්නේ මහායානය‍ට අනුව අවලෝකිතේෂ්වර බෝසතුන්ගේ භාර්යාව වූ යෝගී තාරා දේවියයි. කාන්තා ලාලිත්‍ය ඉස්මතු කිරීමේ අවශ්‍යතාව නිසාම මේ රුව දැක්වෙන්නේ ත්‍රිභංග ඉරියව්වෙන්. (මේ ඉරයව් ගැන අපේ තිස්සයියා හොඳට දනී) මීටර් 5.9 උස මේ ප්‍රතිමාවේද උඩුකය නිරුවත් ලෙස නිරූපනය කර තියෙන්නේ ඒ කාලයේ සම්පුදායට ස්ත්‍රී ලාලිත්‍යය පෙන්නුම් කිරීමටය. එම ප්‍රතිමාවේම දකුණු අතින් කටක මුද්‍රාවද, වම් අතින් නෙළුම් මලක් හෝ අමෘත කළස දරාසිටින බවත් කියැවෙනවා.

බෝධිසත්න ප්‍රතිමාවට වම් පැත්තෙන් ඇත්තේ සුධන කුමාර ප්‍රථිමාවයි. මීටර් 6.5ක් උස උඩුකය නිරුවත්, කටක මුද්‍රාවෙන් යුත් සුධන කුමාර ප්‍රතිමාවයි.
ඒ පිළිම තුනම තවත් කැමරා කෝණයකින්.

 
ඊලඟට අපි හැරෙන්නේ බුදුපිළිමයට දකුණු පැත්තෙන් තියෙන ප්‍රතිමා තුන දිහාවටයි. මෙන්න සමීප දසුනක්.



මේ ප්‍රතිමා තුනේම තියෙන වැදගත් කම තමයි අනෙක් ප්‍රතිමා වලට සාපේක්ෂව සවිස්තරාත්මකව කැටයම් නෙළා තිබීම. සමහරවිට ගල් පර්වතයේ මේ හරිය අනිත් තැන් වලට වඩා සුමටව තියෙන්න ඇති. කොහොම වුනත් මුහුණේ ඉරියවු, ඇඳුම්  ආයිත්තම් පවා තාමත් හොඳින් දැක ගන්න පුළුවන් විදිහට නිර්මාණයේ කැටයම් ඉතුරුවෙලා තියෙනවා. මෙතන මැද තියෙන්නේ මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාවයි. උසින් මීටර් 7ක් එය. රාජකුමාරයකුගේ මෙන් වැඩිපුර රාජාභරණ වලින් යුක්තව නිර්මාණය කරලා තියෙන මේ ප්‍රතිමාවද උඩුකය නිරුවත්ව, දෑත් කටක මුද්‍රාවෙන්ද තමයි නිරූපරනය කරලා තියෙන්නේ.

මුහුණේ ඉරියව් මොනවට පිළිබිඹුවන බොහෝම ආසන්න දසුන් කිහිපයකුයි මේ.



මෛත්‍රී ප්‍රතිමාවටත් දකුණුපැත්තෙන් (ඉදිරියෙන් බැලූවිට) තියෙන්නේ වජ්‍රපානී බොධිසත්ව ප්‍රතිමාවයි. ඒකත් මීටර් 6.4ක් උසයි. කටත මුද්‍රාවෙන් තියෙන දකුණු අතේ වජ්‍රයක් තබා ගෙන සිටින අයුරක් තියෙන නිසා තමයි මෙය වජ්‍රපානී බෝධිසත්ව රුව ලෙස හඳුනාගෙන තියෙන්නේ.

මෛත්‍රී බොධිසත්ව ප්‍රතිමාවට වම් පැත්තෙන් තියෙන මීටර් 6.4 උස ප්‍රතිමාව මංජු ශ්‍රී බෝධිසත්වයන්ගේ කියලා තමයි හොයාගෙන තියෙන්නේ. මංජු ශ්‍රී බොසතුන්ගෙන් මහා ප්‍රඥාව පෙන්නුම් කරන අතර, මෛත්‍රී බෝසතුන්ගේ ධර්මාචාර්ය වරයා ලෙසත් වාස්තු විද්‍යාව, චිත්‍ර හා මූර්ති කලාව උගැන්වූ උපදේශකයා මංජු ශ්‍රී බවත් මාලිංග අමරසිංහ සර් ගේ කෘතියේ පෙන්වා දී තියෙනවා.


හප්පේ... එක හුස්මට ලියාගෙන ගියා. කතාකරන බාසාවයි ලියන බාසාවයි කලවං වුනාද මං දන්නෑ.
දැං අපි ආපහු හැරිලා බුදුරුවගල ජලාශය දිහාවට යන්න ඕනා. ඔය අතරේ අපි බුදුරුවගල පංසලේ කියෙන පුංචි කෞතුකාගාරයටත් ගියා. පුංචි වුනත් බොහෝ දේ ඒ අතර තිබුණා.

පරණ කාසි, මැටි බඳුන්, උපකරණ වගේ ගොඩක් දේවල් ඒ පුංචි කුටිය පිරෙව්වා.







ඔය උඩ පිංතූරේ වැ‍ඩ ඉන්න ඔබ්බේගොඩ ධම්මතිලක ලොකු හාමුදුරුවෝ තමයි බුදුරුවගල පංසලේ ලොකු හාමුදුරුවෝ. ශාස්ත්‍රපති පදවියක් වගේම සිංහල ශබ්දකෝශයේ කර්තෘ පදවියකුත් ලොකු හාමුදුරුවන්ට තියෙනවා. කැලෑවෙන් වට වෙච්ච බුදුරුවගල, මිනිස්සුන්ට යන්න එන්න පුළුවන් පහසුකම් තියෙන තැනක් බවට පත් කරන්න ලොකු හාමුදුරුවෝ සෑහෙන්න මහන්සිවෙලා තියෙනවා. දැන් වැඩ ඉන්න ලොකු හාමුදුරුවෝ තමයි තැරෑලේ ධම්මරතන හාමුදුරුවෝ. හැබැයි අපි ගිය දවසේ නං උන්වහන්සේ බැහැදකින්න ලැබුණේ නෑ. කෙහොමින් කොහොමහරි, මාලිංග සර්ගේ පොතකුත් පංසලින්ම අරගෙන අපි ආපහු එන්න පිටත් වුනා. එතකොටත් තවත් විදේශිකයික් කාණ්ඩයක් බුදුරුවගල බලන්න ආවා.

අමතක කරන්න එපා දැන් අප‍ට හම්බ වෙන්නේ බුදුරුවගල ජලාශය. අපි ආපහු අස්සයා පිටේ නැගලා ටික දුරක් ආපස්සට ආවා.

බුදුරුවගල ජලාශේ පෝශණය වෙන්නේ මෙන්න මේ ඔයෙන්.


ඊට පස්සේ මෙන්න අපි ඒ මනරම් ජලාශය ඉස්මත්තේ.  



ඇත්තටම ලස්සනයි. වැව මැදදේ උඩ‍ට මතුවෙච්ච ගස් මුදුනේ කොක්කුයි තව කුරුල්ලෝ වගේකුයි ලැගලා ඉන්නවා. අපි කලින් ඔයාලව එක්කං ගිය ඉහල ඌව වගේ නෙමෙයි පහල ඌවේ හුලඟ හරි වියලියි. ඒත් වැවක් ගාව ඉන්නකොට‍ ඒ හුගඟටත් ජලවාශ්ප එකතුවෙන නිසාද කොහෙද ඇඟට හරිම සනීපයි.

වැව මැද්දේ සමීප දසුනක් ගන්න තරං අපේ නිකෝන් ඩිජිය සූක්ෂම නැතත් ඕන් පොඩි පහේ පොටෝ කෑලි දෙකක්.




හෙමින් සැරේ කළු වලාකුලකුත් මෝදු වෙනවා. අපිට යන්න කියනවාද කොහෙද? වහින එකනම් හොඳයි. මොකද ටික දවසකින් මෙහෙට වැස්සෙත් නෑලු. වැස්ස කාලෙට පහල පිංතූරේ වැව් කන්ඩියේ සුදුපාටට පේන මායිමටම වතුර පිරෙනවාලු. හැබැයි පායන කාලෙට වැව පතුලේ බයිසිකල් පදින්නත් ලඟ ගමේ ලමයි එනවාලු. :)



 එහෙනං අපේ ඒ චාරිකාවත් ඉවරයි. යන්න වෙලාව හරි.
හැමදාමත් වගේ මෙන්න පුංචි පණිවුඩයක්. “පරිසරය” එයා නැත්තං අපිත් නෑ. ඒ නිසා...

   
එක දිගට ලියාගෙන ගිය නිසා කතාකරන බාසාවයි ලියන බාසාවයි කවලං වුනානනං සමාවෙන්න. ආයේ දවසක තව කොහේ හරි යං. ඌව පළාතේ ඉහල ඌවයි පහල ඌවයි හාත්පසින් වෙනස්. මං කැමතියි ඊලඟ පාර නැවත ඉහල ඌවේ රවුමක් ගහන්න. කෝකටත් ඔට්ටු ඕෆ් රෝඩ් ගමන් සඟයෙක් ඉන්න නිසා බයක් නෑ. ඕන දිහාක යතහැකි.


හැබැයි මෙදාපාර ගමනට එක්කාසු විච්ච (බ්ලොගී නැති නිසා) මගේ අළුත් සගයාගේ පොටෝ එකක් ගන්න බැරුව ගියා. ගමනට මගෙත් එක්ක එකතු වුනාට උශාන් මල්ලිටත් පිං.

විස්තර ලියන්න සෑහෙන්න වටින මූලාශ්‍රක් වුනේ...

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මාලිංග අමරසිංහ සර් ගේ ඓතිහාසික බුදුරුවගල කියන පොතයි. වැඩි දුර විස්තර කියවන්න ආසනම් හොයාගන්න පුළුවන් කාටත්. ISBN : 978-955-51343-0-9

එහෙනං අදට නවතිමු. ආපහු චාරිකාවකින් හමුවෙනකල් ....

ජය...!!!

22 comments:

  1. හැබැයි පුතෝ..මට හිතෙන්නේ මෙදා පාර උඹ හොඳ පිළිවෙලකට චාරිකාව නිමා කොරලා තියෙනවා කියලයි..
    රහස මොකක්දෑ හැබෑට..?හිහ්..හිහ්...
    මාත් යන්න ඔන වෙලාවක බුදු රුවගල පාර එහෙම හොයා කියාගෙන...

    ReplyDelete
  2. නියමයි! කරුණු කාරණා එක්ක නියමෙට ලියල තියෙනව. වැඩි දුර විස්තර ඕන අයට එහෙ මෙහෙ දුවන්නෙ නැතිව ඒව හොයාගන්න පුළුවන් විධියට සවිස්තරාත්මකව ලියල තියෙනව.

    පහුගිය අවුරුද්දෙ අපිත් ෆැමිලි සවාරියක් ගියා බුදුරුවගලත් වන්දනා කරගෙනම. හරිම ලස්සන පැත්තක්. ඒ වගේම සෑහෙන්න රසවිඳින්න පුළුවන් නිර්මාණ ටිකක්!

    ReplyDelete
  3. මචං සම්පූර්ණ චාරිකා සටහනක්....
    මං කුඩා කල මේ වගේ එකක් දැක්කම එකවර කියවන්නේ නැතිව කෑම කනකොට බලන්න තියාගන්නවා... කාලෙකට ඉස්සර බුදුරුවගල බලන්න යන්න තිබූ ආසාව දෙගුණ තෙගුණ කලා මල්ලියේ උඹ... කැමරා පොඩ්ඩක් ගන්න ඕනේ කියා මටත් හිතෙන්නේ මේ වාගේ ඔරිජිනල් සටහන්, පින්තූරු, දැක්කම...
    ඔක්කොම තොරතුරු සොයා දැම්මාට බොහෝම පින්...!

    (මම උඹේ බ්ලොගයට කැමැතිත් මේකයි...දෙකට දෙවාරේ කියලා වනන්නේ නැතිව, ඒ ටු ඉසෙඩ් දෙනවා... හාලියේ කථාවත් ඒ වාගෙමයි... ජයවේවා...)

    ReplyDelete
  4. අඩේ නියමයි ​ලොක්කා..
    ගොඩක් දේවල් දැනගත්තා...

    ඉගෙනගන්න අයට පහසුවෙන විදියට එළ කිරි වගේ ලියලා...

    මරු මරු මරු මරේ මරු....

    ReplyDelete
  5. මමත් නිකං බුදුරුවගල ගියා වගෙයි. පිංතූරනම් ලොඩ් වෙන්නේ නෑ. වැස්ස නිසාද කොහේද EDGE signal විතරයි එන්නේ. පිංතූර මෙටවත් බලන්නම්. නියමෙටම ලියල තියනවා.
    අනික ඉතින් හොඳ ගමන් සගයෙකුත් ඉන්න එකේ මේවත් ගමන්ද? නේ.

    ReplyDelete
  6. ඇත්තටම ගිහිං බලලා එන්න ඕනේ තැනක් තමා මේ.
    මීට අවුරුදු විස්සකට කලින් නම් ඒ ගල් කුහරයෙන් වෑස්සෙන තෙල් එකතු වෙන්නට භාජනයකුත් තබා තිබුනා.

    ReplyDelete
  7. ෂැහ්.. මටත් මේ ව‍ගේ trip යන්න ආසාව තියේ.. ඒත් අපිට කොයින්ද අස්පයෝ :D

    ReplyDelete
  8. ඔන්න ෆොටෝ ටිකත් බැලුවා. දැන්නම් ඉතින් ගමන ගියා වගේ තමා....

    ReplyDelete
  9. එළ.. නියම විස්තරේ!

    ReplyDelete
  10. අවුරුදු ගානකට පස්සෙ බුදුරුවගල මතකය අලුත් උනේ. නියම විග්‍රහයක්

    ස්තූතියි බන්

    ReplyDelete
  11. මරු ලියලා තියන විදිය..! ඕල් ඉන් වන්..! බට් අවුල තියෙන්නේ මං මෙහේ ගිහින් නෑ.. කවදා යන්න වෙයිද කියලා හිතා ගන්නත් බෑ.. සෝ සෑඩ් බං.. වට් ටූ ඩූ ඉතිං...
    ආ.. මං ඔයා එක්ක තරහා වෙලානේ ඉන්නේ අපේ ෆා නගාලා එක්ක අපේ දිහා නාවට..! හොදටම තරහා වෙලා ඉන්නේ මම..!!!

    ReplyDelete
  12. මරු ඔක්කොම ලස්සනට පිළිවෙළට එක විදියට..! එහෙම තමා තීයෙන්න ඕනී. ඔය හැමතැනම ගියාට කමක් නැහැ..! බට් ඕල් සෝ වෙරි කෙයාපුල් හරිය...?

    ReplyDelete
  13. @මාරයා--
    උඹ කියන රහස මටත් ටිකක් තේරෙනවා තේරෙනවා ව‍ගේ... ;-)

    @එච්--
    ඒ ‍කියන්නේ කොල්ලා ගිය අවුරුද්දේ ට්‍රිපක් ගිහං තියෙනවා. අර බව්වත් හිටියැයි? ;-)

    @තිස්සයියා--
    ආ ලොක්කයියේ... ටැංකියු වේවා. කොහොමත් මෙදා පාර ආවම අපි සෙටාර් වෙනවනේ. එතකොට බැරියැ හිස හැරුණු අතේ යන්න. :)
    (සිරාවටම තිස්සයියේ මට කෙටියෙන් ලියනනම බෑනේ. මොනාහරි මිස් වුනා කියලා හිතෙනවා)

    ‍@සොරෝ නැමැති අසරුවා වෙත--
    ඔබගේ පැමිණීම අපටත් පට්ටයැ. ;-)
    ටැංකියු වේවා... මමත් උත්සහ කරේ ටිකක් සවිස්තරව ලියන්න තමයි...

    @ප්‍රියන්ත ඒබීසීඩී--
    පිංතූරත් බලා ගත්‍තානේ එහෙනං...
    (ටෙක්නිකල් විතරමද බ්ලොගේ ලියන්න කල්පනාව? :) වෙන මතක නැතෑ..? :))

    @නිමන්ති--
    ඔය ඉන්නේ ඇසින් දුටු සාක්ෂිකරුවෙක්. බොරු කියන්න ඕන නෑ, මං නං ඇත්තටම කලින් ඔය කේස් එක දැකලා නෑ... දැන්නං හැබැයි තෙල් පැල්ලමක් විතරයි තියෙන්නේ... අබුද්දස්ස කාලේ තෙලුත් හිඳෙයි රාළේ කිව්වලු.

    @කණියා--
    අස්සයෝම මොටැයි මං දාහක් වටින කකුල් දෙකක් තියෙද්දී... :)

    @වැම්පයර්--
    ටැංකියු වේවා වැම්පෝ... ඒක නෙමේ

    @මුචා--
    ටැංකියු... බොලානේ මතක් කරේ මූණූ පොතේදී ලියන්නේ නැද්ද කියලා... :)

    @නිශ්--
    ඔය ඉන්නේ තවත් එහේ ගියපු අය... ඒක නෙමේ බ්ලොග් එකක් ලියන්නේ නැද්ද?

    @පුතේ--
    හප්පොච්චියේ පුතා දැක්ක කල්... දැං පික්සු හොඳෙයි? ඒක නෙමෙයි අරූව හොයන්න යන්න එපා හරිය...

    @මලී--
    කවදා හරි යන්න බැරියෑ අනේ...
    තරහ අවසර... අපි හිතන් උන්නේ බෙලා ලඟ පාත ඉන්නේ කියාලා. පස්සෙයි දන්නේ අරෙහෙ කියාලා. එහාට යන්න කොච්චර වෙලා යනෝද කියලා දන්නෙත් නැති හන්දයි යන්නයි එන්නයි වෙලාව ගියාම රාත්තිරියේ අපට බස් එක මිස්ටේක් වෙයි කියලයි ආවේ නැත්තේ... අනිවා ඊලඟ වතාවක නම් සෙ‍‍ටාර් වෙනවා මයි... උඹල‍ට බොරු පොරොන්දු දුන්න හන්දාද කොහෙද, එදා රෑ ප්‍රයිවෙට් බස් ඉට්ටයික් කොරලා අපට බස් තිබ්බෙත් නෑ. (ඒ හදිය තාම මරේට කිව්වෙත් නෑ ඕන්...)

    @ලී-සාන්--
    ආ... පොටෝ මහත්තයෝ... හැබැයි මං හිතුවේ දිග වැඩිවෙයි කියලා... :)
    සරි සරි සේප්ට් පස්ට් කියන්නේ නිකං යැ නේද?

    ReplyDelete
  14. නියම ලිපිය මචන් ආයෙ අඩුවක් නෑ සියලුම තොරතුරු තියෙනවා.අපරාදෙ බ්ලොගිත් ඉන්නයි තිබුනේ.මමත් සෑහෙන කාලෙකට කලින් ඔතනට ගියා.පාසෑල් චාරිකාවක් එක්ක....ඊට පස්සේ මෑත කාලේ ඔය හන්දියෙන් නිතර එහා මෙහා ගියා .ඒත් බුදුරුවගල යන්න නම් බෑරි උනා

    ReplyDelete
  15. බුදුරුව ගල ගැන ඉගෙන ගෙන තියෙනවා. පොත්වල තියෙන්නෙ බොඳ වෙච්ච පොටෝ නේ. ඈත්තටම මේ පොටෝ දැක්කම හරිම සතුටුයි. කොච්චර ඉගෙන ගත්තත් තාම බදුරුව ගල යන්න බැරි උනා.
    දිගට දිගට පොස්ට් නොදැම්මට දාන පෝස්ට් එක මේ වගේ වැදගත් කරුණු ගොඩක් එක්ක දාන එකයි මම හිතන්නෙ ගොඩක් වටින්නේ.

    ඉතිං ආයේ අස්සයා පිටේ ගිහිං විස්තර දානකං අපි බලං ඉන්නවා.

    ReplyDelete
  16. @නුවන්--
    නිතරම ගිය එකේ මෙහෙත් ගිහිල්ලා එන්න එපැයි බං:)

    @බුද්ධිඝෝෂ--
    මෙකත් මේ ණයට ගත්ත පොටෝ මැසිමක් බං. පස්සේ දොහක හොඳවයින් එකක් ට්‍රයි කරලා බලන්න ඕන. ඒක තමයි මමත් හිතුවේ. වැදගත් කරුණු ටිකක් ලිව්වනං කාටහරි (ඉගෙනගන්න පොඩි එකෙක්ට හරි) ඕන වෙයිනේ.
    එළ එළ ළඟදීම තව එකක් එනවා. හැබැයි අළුත් තැනක ;-)

    ReplyDelete
  17. අඩේ මම මේක දැක්කා වුනත් කියවන්න වුනේ නෑ නේ බන් . . මේ වීක් එන්ඩ් එකේ අනිවා කියවනවා

    ReplyDelete
  18. පෝස්ට් එක නම් ෆට්ට. මමත් ඔය පැත්තේ ආවා ඉස්කෝලෙ යන කාලෙ. හරියටම කිව්වොත් 1998 දි. එතකොට මම 8 වසරේ. මඩුවන්වෙල වළව්ව එහෙමත් බලාගෙනයි ආවේ. ආයිත් කියන්නේ පෝස්ට් එක නම් සෑහෙන වැදගත්.

    ReplyDelete
  19. @දුකා--
    අනිවා ඔයා දැන් කියවලා ඇති.

    @නුවන්--
    ඇත්තමෙ මගේ ආසාවක් තියෙනවා වලව්ව බලන්න යන්න. ස්තූතියි නැවත නැවතත්.

    ReplyDelete
  20. වටිනා කියන තොරතුරු රැසක් ගැන දැනගන්න ලැබුණා අයියා. ස්තුතියි අපිත් එක්ක මේ කරුණු බෙදා හදා ගත්තාට. මගෙත් මේ විදිහේම විනෝදාංශයක් තියෙනවා. කියවලා බලන්න

    http://eatuwawa.blogspot.com/

    ReplyDelete