Thursday, August 13, 2009

මාර නංගියෙක් හම්බ උනා අයියො… ඔබටත් හම්බ උනාද? පව් නේද…?

මට අද මාර සීන් එකක් උනා. Tagged කියලා මල මගුලක ඒ….. දවස් වල මම රෙජිස්ටර් වෙලා ඉඳලා තියෙනවා. තාම පොරවල්ලගෙන් Alerts එනවා අරයා උඹේ profile එක බැලුවා… මෙයා බැලුවා කියලා… මෙන්න මේ ගෑනු 12 දෙනා හම්බ වෙන්න කියලා… නා නා ප්‍රකාර මේල් එනවා tagged එකෙන්. පට්ට ආතල්… ඒ අතරේ වැඩි හරියක් ඉන්නේ තමංගේ ලිංගය female කියලා profile එකේ ගහගත්ත කොල්ලෝ. shemale ද කොහෙද? (හික්)

ඔන්න ආපහු උක්ත කතාවට… ඉතින් ඊයේ tagged alert එකක් මගේ මේල් එක‍ට ආවා… කවුද නංගි කෙනෙක් මට මැසේජ් එකක් එවලා කියලා… (ලොකු කරන්න නම් ක්ලික් කරන්න)

alert

මාත් ඉතිං නංගියෙක් නිසා click කරා ලින්ක් එක උඩ. ඔන්න ගියා tagged පේජ් එකට… ඒකේ login username password ඉල්ලන්නෙත් නෑනේ… ඇත්ත තමා… මෙන්න බොලේ නංගියෙක් මට මැසේජ් එකක් එවලා… මෙන්න මේක… ලොකු කරලා හොඳ….ට කියවන්න.

msgOfHer

ඔන්න ඉතිං කවුරුහරි නංගියෙක් නිසාම මමත් දැම්මා reply එකක්. අනික foreign නගෙක්නේ… :)

myMail

ඔය සැත්කම ඊයේ සිද්ද විච්ච එකක්. අද උදේ මම මම ඇව්ත් මේල් චෙක් කරන කොට මෙන්න බොලේ අර නගා ම‍ට මේල් එකක් දාලා…. දිග…. එකක්… පව් අප්පා හරී අසරණයිලු එයා… (hiks)

යාළුවනේ… ලොකු කරලා හොඳ…ට කියවන්න ඕන…

HerMail

සෙල්ලං ගානක්ද නේද? ඇමරිකානු ඩොල්ර් මිලියන 6.8ක් මගේ එකවුන්ට් එක‍ට දාන්නංලු… පිස්සු හැදෙයි. දැක්කෙත් ඊයේ… (ආ.. දැක්කේ නෑනේ) පල්ලියේලු ඉන්නේ. අම්මා තාත්තා නැතිලු. පාස්ටර්ගෙයි එයයි අතර සම්බන්ඳයකුත් නැතිලු. මගේ එකවුන්ට් එකට සල්ලි දාලා ටික ටික එයාට ඕන වෙනකොට ගන්නංලු. කා‍ටවත් කියන්නත් එපාලු… ඔන්න මං ඔයාලට කිව්වා කියලා ලිලියන් නගාට කියනව එහෙම නෙමෙයි හො‍ඳේ… :)

මෙන්න එවලා තිබ්බ ෆොටෝ එක. පව් අම්මා තාත්තා නැති අසරණ කෙල්ල. කාගේ වුනත් නංගියෙක් නිසා මං මූණ අහක් කරා ඕං…

3U4O50461357-02

වැචේ කියන්නේ මෙයා hi5 එකෙත් ඉන්නවද කොහෙද? ‍බ්‍රව්සර් එකේ තියෙද්දිම image properties ගියාම මෙහෙම ආවා…

image

පව් නේද මේ නඟා… සමහරවිට හෙට ඔබටත් මේ නඟා හම්බවෙයි… එතකොට අර සල්ලි ටික බෙදිලා යයිද දන්නේ නෑ… අපරාදේ අපේ මව් කොම්පැණිය තිබ්බනං මං නගා ගෙන් සල්ලි ටික අ‍රගෙන ෆික්ස් ඩිපොසිට් එකක් දානවා :) කොම්පැණිය ගැන කියලා කට වරද්ද ගත්තවද්ද. කමක් නෑ.. ප්‍රස්ද්ධ රහසක් නේ.

හරි හරි කතා ඇති. දැන් ලමයි මොකද කියන්නේ. මම සල්ලි ටික මගේ එකවුන්ට් එකට දාගන්නද? එපාද? නැත්නම් සල්ලි ටික ඉවර වෙනකල් පාටි දාමුද? සෙල්ලංද ඇමරිකානු ඩොලර් මිලියන 6.8ක්. හැබැයි මේකත් ලොකු ඇමරි-“කානු” වක්ද කොහෙද? වැටෙයි බලාගෙන. එයා මට කෝල් කරන්න කියලා තිබ්බනේ. මම එයාගෙන් skype id එක අහලා replly එකක් දැම්මා. අපිට පිට රට කෝල් ගන්න සල්ලි නෑනේ. උත්තරයක් ආවොත් උණු උණු විස්තර පස්සේ කියන්නම්. මේ නගා හොරෙක් නම් එයාව අල්ල ගන්න කොන්ත්‍රාත්තුව කාටද බාර දෙන්නේ…? අපේ DEEPS නගාට නම හොරු අල්ලා පුරුදුයි… බලමු බලමු…

හෙට ඔබටත් මේ නංගි හරි මෙයාගේ යාළුවෙක් හරි හම්බ උනොත් කියන්න.

ආ අර අවසන් සටන හරි. ලයිව් දෙන්න තරං තරඟයක් තිබ්බේ නෑ. කාසියේ වාසිට අපිට ආපු ගමන් අපිටම දිනුම දුන්න. මැච් එකක් තිබ්බේ නෑ…

Saturday, July 11, 2009

අම්මා හා කිව්වා…

අප්පේ සෑ…හෙන කාලෙකට පස්සේ. මයෙ හිතේ මාස තුනක් විතර අති. කොහොම හරි සින්ඩියේ බොස් මාව සින්ඩියෙන් අයින් කරන්න කලින් ඕන් එකක් ලිව්වා. ඕන් එහෙනං බ්ලොග් නොලිව්වට නිදහසට කාරණා.

  1. අපේ කොම්පැණිය චකබ්ලාස් උනා. මගේ කලිං පෝස්ට් කියෙව්වනං මම ඒවයේ අනතුරු අගවලා තිබ්බා. සමහර අය මේ සීන් එක දන්නවා. ඉතින් ඕක නිසා අපේ SBU එකේ 3දෙනෙක්ට වැලේ වැල් නැති උනා. මමයි, ෆා ද බ්ලොගීයි, පැංචියි .අනාතයි. දවස් ගානක් ජාලේ තිබ්බෙත් නෑ. කැෆේ යන්න සල්ලි අතෙත් නෑ.ෆුල් අන්දොස්.
  2. බ්ලොග් ලියන එක පැත්තක දාලා කට්ටියම අළුත් ජොබ් හෙව්වා. ආයේ ඉතින ගමේ ජොබ් හොයනවා බොරු. යනවා නම් ඉතින අගනුවර තමයි. ඒ නිසා ‍මම ජොබ් හෙවිල්ල පැත්තක දාලා ලාවට බිස්නස් එකකට අත ගැහුවා. මේ ගැන මම මුලින්ම කිව්වේ අපේ මරනෙට. මෙන්න මෙතනදි. ඉතින් ඕන් මම ලාව‍ට ජාල කඩයක් දැම්මා. ලාබෙට උබුන්ටුත් එක්ක අපේ ටවුමට ජාලේ දෙන්න. වැඩේ දැන් ටිකක් නැගලා යනවා. උබුන්ටු දුවන්නේ වෑර්ලස් නෙට්වර්ක් එකේ. කොටින්ම උබුන්ටු කියා වෑර්ලස් වත් දුවන ජාල කඩයක් මේ පලාතේ වත් නෑ. ලංකා බෙල් කොම්පැණියෙන් තමයි ජාලේ. ටෙලිකොම්ලට දෙන්න බෑලු. extension අවුල්ලු. ADSL තරහයිලු. Dialog කන්දට වැහෙනවලු. බාධක වැඩියිලු. අපරාදේ කියන්න බෑ අන්තිමේ ලංකා බෙල් කියන ගාන අඩු නැතිව දුන්නා. වෘත්තීය මට්ටමෙන් උබුනුටු දුවනකොට නාගත්ත වෙලාවට අපේ ශාකුන්තල ෆ්‍රෙඩයි හර්ෂන ෆ්‍රෙඩයි හෙන සපෝට් එකක් දුන්නා. දෙන්නටම තැන්කූ… ඉතින් මේවගේ බිසී කේස් නිසා බ්ලොග් එක අයාලේ ගියා.
  3. තුන්වෙනි හේතුව තමයි සිරාම වගේම දුකම හිතෙන සීන් එක. මගේ ෆියොන්සේගේ අම්මා ඒ කියන්නේ මගේ වෙන්ඩනැද්දම්මා ටිකක් අපි දෙන්නගේ යාළු සමාගමයට ෆීනික්ස් දැම්මා. කරන්නම දෙයක් නෑ. එයා ඉන්නේ ඒරොප්පේ. කවුද රොයිටර් කොනක් එහෙටම නිවුස් එක දීලා. අම්මට මලේ මල. බෑ කිව්වොත් බෑම තමයි. අම්මට සීන් එකට අසූහාරදාහට තද වෙලා. ඉතින් අම්මා කැමති කර ගන්නත් මාස්ටර් ප්ලෑන් එකක් ගහන්න උනා. පහුගිය දෙවෙනිදා එතුමී ඒරොප්පේ ඉඳන් මෙහේ ආවා. ඒකෙන් අපේ දුරකතන මාර්ගයත් අවහිර උනා. ඉතින් මොන බ්ලොග් ලිවිලිද. මෙලෝ සිහියක් නැතිව නැන්දම්මා කැමති කරගන්න විදිහක් බැලුවා. පස්සේ අපි දෙන්නා කතා වෙලා දුන්නා ඓතිහාසික ගේමක්. ඊයේ දවල් නැන්දම්මව ලන්ච් එකකට එක්කරගෙන ගිහින් හෙන කතාවක් එහෙම පවත්වලා බොහෝම යටහත් පහත් ලෙස ඕකේ එක ඉල්ලුවා. ආයචෙනා කරා. පතරොම් රහිත වෙඩිතැබීමේ කළාව තමයි අනුගමනය කරේ. වැඩේ හිතුවටත් ව‍ඩා ගොඩ. නැන්දම්මාගේ හිත උණු වෙලා, මේ අසරණ ගැත්තගේ පහන් සංවේගය උදෙසා ඕකේ එක දුන්නා. මාර හැපි. හරිනම් බොන්න ඕන සීන් එක. ඒත් කොහෙද බීලා පුරුදු නෑනේ. ඊයේ රෑ අපේ ගෙදරටත් නිවුස් එක ගෙනිච්චා. අපේ අම්මා කොහොමත් ඕකේ එක දීලා තිබ්බේ.
  4. දැන් ඊලඟට තමයි ලොකුම ගේම් එක. ඒ තමයි මව් සමාගම් දෙක ඉක්මනින්ම මුනගස්සවන්න ඕන. එකටත් දෙන්න ඕන එළ ප්ලෑන් එකක්. ඉතින් මේ නිවුස් එක නොකියා කොහොමද? ඒකයි තකහනියක් බ්ලොග් එක ලීව්වේ. දැන් නම් ඉතින් දිගටම ආපහු ලියන්න ඹ්න.

ඔන්න එහෙනං නිදහසට කරුණු කාරණා කිව්වා. දැනට නවත්තලා යන්න ඕන. “අවසන් සටන”‍ට ප්ලෑන් එක ගහන්න තියෙන‍වා. ඕගොල්ලේ ගාව එහෙම තියෙනවනම් එළ ප්ලෑන් එකක් මටත් කියන්න. අමතක කරන්න එපා. මේක අවසන් සටන… අපි දැන් හරි වෙනස් :D

Thursday, April 2, 2009

ගලවපං මේ මාංචු…

handcuffed

එන්නේ නෑ දැන්
ඉස්සර වගේ
කවි සිතුවිලි
මගේ හිතට…
හිර කරලා අපිව,
දාලා මාංචු,
හිතන්න දෙන්නේ නෑ සැහැල්ලුවට,
වගකීම්,
යුතුකම්,
සල්ලි,
අනාගතේ,
මේ එක යතුරකින්වත්
මාංචු ලිහන්න බෑ…
එන්න එන්න හිරවෙනවා…
කෝ අපේ ලෝකේ?
ඒ දවස්වල තිබ්බ,
පාවෙන සැහැල්ලු ජීවිත,
ගංජා ගැහුවේ නෑ අපි,
ඒත් පාවුනා සැහැල්ලුවට,
දැනුනේ නෑ බරක්,
කවදාවත් හිත‍ට,
හිතෙන කොට කෑවා,
හිතෙන කොට බිව්වා,
හිතෙන කොට නෑවා,
හිතෙන කොට නිදා ගත්තා,
හිතෙන කොට නැඟිට්ටා,
හිතෙන කොට ගියා,
හිතෙන කොට ආවා,
ඒත් දැන්,
හැම එකටම වෙලාවක්,
කෝ තිබ්බ නිදහස?
කෝ තිබ්බ සැහැල්ලුව?
මේකද නවත්වය කියන්නේ?
ආසම හැමදේම නැතිවෙන එකද?
ඇයි ආපහු දුවන්න බැරි,
කොල්ලෝ රැලත් එක්ක පාර දිගට?
ඇයි ආපහු හිනා වෙන්න බැරි,
වට වෙලා සෙට් එකම එකට?
ඇයි ආපහු වැටෙන්න බැරි,
අම්මගේ තාත්තගේ තුරුලට,
ඇයි ආපහු අඬන්න බැරි,
දුකක් දැනුනම හිතට?
අපිව හිර කරලා, මාංචු දාලා,
කෝ තිබ්බ සැහැල්ලුව,
ඇයි දැන්ම මේක හිතුනේ?
පිස්සුවත් හැදීගෙන එනවද?
නැත්නම් පිස්සු හොඳවීගෙනවත් එනවද?
කෝ අපේ ලෝකේ?
මේ හිරවෙච්ච කූඩුවද?
ගලවපං මේ මාංචු…
ඇරපං මේ දොර…
යන්න ආයේ අපේ ලෝකෙට…

Tuesday, March 31, 2009

නොපතමි මම

Nopathami Mama

නෙපතමි මම මහ සයුරක්,
පතමි වෙරළත සිප්පි කටුවක්…

නොපතමි මම ඉරක් හඳක්,
පතමි ලඟ ඇති මිණි පහණක්…

නෙපතමි මම රස බොජුනක්,
පතමි ලුණු සහ බත් ඇටයක්…

නොපතමි මම සිටු මැදුරක්,
පතමි සිහිලැල් තුරු සෙවනක්…

නෙපතමි මම සුඟඳ සුර පහසක්,
පතමි සෙනෙහෙබර සිත් අහසක්…

නෙපතමි මම වැතිරෙන්නට සුර යහනක්,
පතමි ඇලවෙන්නට හුරු උකුලක්…

නොපතමි මම ඹබෙන් තොර ලොවක්,
සදමි ඹබට මට එක දෙව් විමනක්…

(ඉහත සොඳුරු ඡායා රූපය මවිසින් ගන්නා ලද එකක් නොවන අතරම, මුලු විශ්ම වියමනම සිසාරා එම සොඳුරු ඡායා රූපය සොයා ගත්තේද මම නොවෙමි)

Thursday, March 19, 2009

තත්ත්වෙ භයානකයි ලොකු පුතේ

BadSituation

කොම්පැණියේ තත්ත්වෙ එන්න එන්නම භයානක අතට හැරිලා. දැනට වට දෙකක් සෙල්ලං කළා. අපි හිතුවේ වට දෙකෙන් ගේම ඉවර වෙයි කියලා. එහෙම නම් ගොඩ. හැබැයි අවාසනාවට තුන්වැනි වටේටත් තේරුණා. තව තව වැඩේ දිග්ගැස්සෙනවා. ආරංචියේ හැටියට 18 වෙනිදා සෙමි ෆයිනල්. 26 වෙනිදා අන්තිම ෆයිනල් එක (හික්). අනේ අප්පේ ඒකෙන් වත් වැඩේ ගොඩ ගියොත් හරි.

තේරෙන්නේ නෑ නේ… ඒක තමයි… මටත් තේරෙන්නේ නෑ… ඒනිසා තේරුං ගන්න උත්සහ කරන්නෙත් නෑ. ආයෙනම් ඉතින් ජොබ් හෙයලා ගොඩයි. අනික පුරුදු ජොබ් එකම. අපේ ලොකු බොස් නම් තාම ගේමේ ඉන්නවා. ෆුල් පොසිටිව්. ගේම අතඅරින්නේම නෑ. තිස් තුන් කෝටියක් දෙයියොන්ගේ නාමෙන් වැඩේ ගොඩ ගියොත් හරි. ඔබාමා මාමේ.., මේ පෙලවහක් කරගන්න ඕන වයසේ ආයේ ජොබ් හොයන්න නම් බෑ හොදේ… අපේ බොස්ට… ජයවේවා… අසරණ අපිටත් ජය වේවා…

(මේක ටික දවසකට කලින් පොතක ලියලා තිබ්බ එකක්… වෙලා තිබ්බ නැති නිසා පබ්ලිෂ් කරන්න බැරි උනා. දවස් එහෙම වැරදි ඇති. වරදට සමාව… (හික්ස්))

Friday, March 6, 2009

කොම්පැණිය ගොඩ ගැණීම

boss

රටේ ආර්ථිකය අයහපත්ය. අපේ කොම්පැණියේ තත්ත්වයද අයහපත්ය. කොයි වෙලේ වැහෙයිද කියන්නට දන්නේ නැත. වැහුවොත් යන්නට තැනක්ද සෙවිය යුතුව ඇත. නමුත් ඊට ප්‍රථම ඉටුකරන්නට වගකීම් බොහෝ ඇත. මන්ද, කොම්පැණිය ගැන නොව අප ගැන විශ්වාසයෙන් සිටින මිනිසුන් පිරිසක් සිටින නිසාවෙනි. කොම්පැණිය තුළ මොන තරම් බයිලා සිදුවුනද ඒ ගැන ලත වෙමින් නොසිට අන්තිම මොහොත තෙක් වැඩ කොට වගකීම් ටික ඉටු කලා නම් කොම්පැණිය වැසූ දිනෙක කාගෙන්වත් වචනයක් නොඅසා රෙදි ඇඳගෙන පාරට බැසිය හැක. තවද, කොම්පැණි කෙසේ වෙතත් අපි ගමේ නගරයේ සිටිය යුතු බැවින් එය කළ යුතුමය. නැතිනම් සිදු වන්නේ සැඟවී සිටින්නටය. කෙසේ හෝ වෙනදාට වඩා වැඩ වැඩිය. බ්ලොග් එක වත් කාලෙකින් ලිවිය නොහැකි විය. ඒ තරමට වැඩය.

නමුත්, පුදුමයකි… අපට ඇති මෙම රුදාව අපේ සමහර ලොක්කන්ට නැත. ලොක්කන් කීවාට හැම ලොක්කෙක්ම නොවේ. ලොක්කන් කීවාට ඔවුන් නායකයන් නොවේ. ඒ මැද පෙල ලොක්කන් වගයකි. ඉහලම පෙල ලොක්කන් වගයක් ඇත, ඔවුන් සැබවින්ම නායකත්වයේ මෙහෙයක් ඉටු කරයි. වැහෙන්නට යන් කොම්පැණිය බේරා ගන්නට හෝ සල්ලි යහමින් ඇති වෙන කොම්පැණියකට බද්ද කරන්නට ඔවුන් නොගන්නා වෑයමක් නැත. නොකන කුණක් නැත. නොයන තැනක් නැත.

නමුත් කථාවේ රසවත්ම හරිය එය නොවේ… ඒ නම් මා පෙර කියු මැද පෙල ලොක්කන්ගේ ක්‍රියා කලාපයයි. ඔවුන් නමි දෙබිඩි වරිතය. ඉහල පෙළ ලොක්කන්ට පෙන්නන්නේ තමන් නිතරම ඔවුන් සමඟම බවයි. ඔවුන්ගේ සැම ප්‍රයත්නයකම තමන්ද සිටින බවයි. තමන්ද ගේමේ සිටින බව කියයි. දෙන්නේද ලොකු ටෝක්ය. එබැවින් ඉහල පෙලේ අය බෙහෙවින් සතුටු වෙති. තමන්ගේ ගෝලයින් තමන් සමග බව සිතා ඕනම ගේමකට බසියි. නමුත් යථාර්තය දන්නේ අපය. හෙඩ් ඔපීසියෙන් සෑහෙන ඈත නගරයක වර්ග අඩි තුන්දහසක පමණ ගොඩගැඟිල්ලක් තුල මැද පෙල ලොක්කන් සමඟ දිවිගෙවන අපය.

මැද පෙල ලොක්කන්ගේ ක්‍රියා කලාපය හරිම අපූරුය. ලොකු ලොක්කන්ට තමන් වැඩකාරයන් සේ පෙන්වූවද මේ අය කරන වැඩක් නැත. කරන්නට වැඩක්ද නැත. මෙච්චරකල් කවුරුත් වැඩත් දුන්නේද නැත. වැඩක් හිතා කලයුතුව ඇත. දැන් එයද නැත. උඩ අයට පෙන්වන ඇඩ් පහල පෙනෙන්ට නැත. මොන වැඩේ නැතත් ඔවුන්ට “මූණු පොත” ඇත. උදේ සිට හවස් වෙනකල් කරන්නට වැඩ මූණු පොතේ ඇත. තව ටික දවසක් ගියතොත් මූණුපොතේ මිතුරියන් ගනන දහස දෙදහස පනිනු ඇත. එයින්ම ඔවුන් කරන වැඩ සම්භාරය හිතා ගත හැක. පුදුමයකි, ඔබ හොඳින් කියෙව්වාද ඒ වාක්‍යය? ඔවුන්ට මූණු පොතේ ඇත්තේ මිතුරියන් පමණකි. ඒ මිතුරියන්ද හරියට ඇඳුමක් පැළදුමක් අදින්නට දන්නේ නැත. කොහේ හෝ පොඩි අඩුවක් ඇත. කොහෙන් හරි ලාවට කොනක් පෙනෙයි. නියර මෙහෙම නම් කුඹුර කෙසේ ඇත්දැයි සිතා ඔවුන් තොල් සපාගෙන කැතෝඩ කිරණ තිරයට මූණ ඔබාගෙන බලා සිටිති. ඒ අනුව ඔවුන් ටික දිනකින් පොට්ට වන්නටද බැරි නැත. මොනිටරේ ඩිංගක් හරවා ගත්තාම කාටවත් නොපෙනේ යැයි ඔවුන් සිතනවා ඇත. අර මුකුන්දත්, හැංගෙන්නට පොළවේ පස් යට හිස ඔබා ගන්නවාලු. නමුත් තමන්ගේ පස්ස එලියේ බව උන් දන්නේ නැතිලු. මේ වැඩේද ඒ වගේය.

අපේ ඔපීසිය නිතරම ළමා ළපටි, බාල, තරුණ නොයෙක් තරාතිරම් වල අය ගැවසෙන තැනකි. ඒ අපේ ව්‍යාපාරයේ හැටිය. මෙය කියවන ඔබට මම වැඩි විසතර නොකියමි. නමුත්, ඔපීසියට යන එන සමහරක් පුංචි එවුන් පවා සමහර විට අපෙන් අසන දෙයක් තිබේ. “අර සර් මොනාද කරන වැඩේ..?” “නිකන් ඔහේ වාඩිවෙලා ඉන්නවා විතරනේ…” “එක්කෝ පෝන් එක කනේ නැත්නම් මූණ මොනිටරේ අස්සේ”.  සමහරවිට පාසැල් වයසේ ගැහැණු ලමයෙකු තමන්ගේ වැලමිටින් තම මිතුරියට ඇන, ලොක්කාගේ මොනිටරේ ඇති අර්ධ නිරුවත් නාරි දේහයක් පෙන්වා කට වසා සිනාසෙයි. ඒ අයුරින් මම කියූ මැද පෙල ලොක්කන් තමන්ගේ වැඩ කිඩ සමාජයට පෙන්වති. මේවා බේගල් නොවන බවද දන්නෝ දනිති.

තවත් අපූරු පැතිකඩක් මෙම කථාවේ ඇත. මේ ලොක්කන් හිටි ගමන් ඔපීසියෙන් අතුරුදන් වෙයි. සෑහෙන වෙලාවකින් ආපහු එයි. කොම්පැණියේ නමට ගසන පෙට්‍රල් ටික ඔවුනට දිව ඔසුවකි. එනිසා දෙසක් රියේ නැගී රටේම කරක් ගසති. ගෙදර යන්නේත් එන්නේත් රවුම් ගසන්නේත් කොම්පැණි පෙට්‍රල් වලින් නිසා ඔවුන්ට එහි මහලොකු අමුත්තක් බරක් නොදැනේ. මාස දෙකකින් පඩි නැති අසරණ සුළු සේවකයෙකුට එදිනෙදා ගමන් වියදමට රුපියල් දෙසීයක්වත් ලබා දිය යුතු නොවේදැයි ඔවුනට නිසිතෙන්නේ ඒ නිසාය. ඇරත් මූණු පොතේ සහ නගරයේ රවුම් ගැසීමට ඇති නිසා කොයින්ද ඔවුන්ට විවේකයක්. ලොකු ලොකුකන්ද නොදැන මොවුහූ සමහරවිට නිවාඩු යති නැතහොත් කාර්යාලයට නොඑති. ලොකු ලොක්කන් කොල් කර මැද ලොක්කන්ව විමසුව හොත් දෙන්නට උත්තර නැත්තේද අපටය. මන්ද, ගිය තැනක් අපි දන්නේද නැත. ලොකු ලොක්කන් දන්නේද නැත. ඔව්න් සමහර විට සිතා ඇති තමන්ගේ ගෝලයන් තමන් මෙන්ම වැහෙන්න යන කොම්පැණිය බේරා ගන්නට මාරම ගේමක් දෙන බව. සමහරවිට ඔවුන් හොර රහසේ සම්මුඛපරීක්ෂණයකට ගොස් විය හැක. ඉදින්, යම් හෙයකින් යථාර්තය දුටුවහොත් ලොකු ලොක්කන්ට ඇ‍ඬෙනු ඇත. මැද ලොක්කන්ගෙන් තමන් බලා පොරොත්තුවූ “බොක්ක” කෙසේ වෙතත් “පක්ෂාවාතයක්වත්” ඔවුන්ගෙන්  නොලැබෙන බව පසක් විය හැක.

මේ සියළු දේ බලා සිටීමට සිදුවී ඇත්තේ අපටය. ඒ අප පහල අඩියේ සේවකයන් වූ නිසාවෙනි. ලොකු ලොක්කන්ට එකක් පෙන්වා තවෙකක් කරන මැද ලොක්කන්ගේ දෙබිඩි නාඩගම් බලා සිටිය යුතුව ඇත්තේ අප විසින්ය. කොම්පැණිය වැහෙන්නට යන බව ලෝකයම දනිති. එකල්හි ගනුදෙනුකරුවන්ට උත්තර බැඳිය යුත්තේ අපය, ගේම ඉල්ලන ගනුදෙනුකරුවන්ව ෂේප් කල යුත්තේ අපය, මුදල් හම්බ කල යුත්තේ අපය, කොටින්ම වැඩකල යුත්තේද අප‍ම විතරමය. අපේ ජොබ් එකේ හැටියට උදේ සිට පැය තුන හතරක් ඒ.සී සහිත බිත්ති හතරක් තුල කැගසා එලියට පැමිණ වතුර උගුරක් බොන කල්හී ලොකු පුටුවේ හර බරි ගැහී මූණු පොතට එබී සිටින ලොක්කා දුටුවහොත් මට නම් නගින්නේ ඌරු ජුවල්ය. නමුත් කරන්නට දෙයක් නැත. ඌරු ජුවල් තද කරගෙන ලොක්කාට හිතින් බැන බැන සිටිය යුතුව ඇත. මන්ද “ඕපන් ඩෝ පොලිසි” කියා මෙවා ලොකු ලොක්කන්ට කියන්න ගියොත් කෙලවෙන්නේද අපටමය. ඇරත්, නමක් තියෙන කොම්පැණියක් නැති කො‍ට, කොම්පැණියේ ඇල්පෙනෙත්ත පවා ටික දිනකින් උසාවිය ඉදිරියේ නඩු භාණ්ඩ වන තත්ත්වයක් මොන “ඕපන් ඩෝ පොලිසි”යක්ද? කොහොමත් ම‍ට තවත් නැතිවෙන්නට දෙයක් නැත. අවුරුදු දහනමයේ ඉඳලා මේ වෙනකල් අවුරුදු පහ හමාරක් කඹුරපු කැඹිරිල්ලක්. මගේ ජීවිතේ හොඳම කාලය මේ ජොබ් එක‍ට දිය කර ඇත. නමුත් පලක් වී නැත. ඒ ලෙවල් දෙපාරක් නොකළ මෝඩකම දැනෙන්නේ දැන්ය. කරත් මම කෙමිස්ට්‍රි ෆේල් වන බව ෂුවර්ය. නමුත් කොම්පැණියෙන් බලාපොරෝත්තුවූ දේ බොහෝමය. අවුරුදු පහකින් කාර් එකක්. ලොකු පෝස්ට් එකක්. පිස්සු මරගාත. ඒත් මට මතක්වෙන්නේ මැද ලොක්කව. පෞද්ගලිකව කොච්චර හිතවත් උනත් දෙබිඩි චරිත මට පේන්න බෑ. එක අතකට ඒ වගේ උන්ටම තමා මේ ලෝකේ හරියන්නේ. කවදාහරි මමත් ඒවගේ එකෙක් වෙන් ඕන, එතකො‍ටවත් හරියයි.

කොහොමහරි ලොකු ලොක්කන් මොන උත්සහය හෝ අරගෙන කොම්පැණිය බේරා ගත්තොත් කොළඹ ජොබ් එකකට නොගිහින් තවදුරටත් ගමේම සිටිය හැක. නැතිනම් තවදුරටත් ගමේ අපට හරියන ජොබ් නැත. ඒ නිසා ඉක්මනින්ම ලොකු ලොක්කන්ගේ උත්සහය සාර්ථක වේවා කියා දෙයින්ට බුදුන්ට කියම්. හැබැයි එදාට කොම්පැණියට කරන්න බිස්නස් එකක් නැතිව තිබුනොත් එයට අනිවාර්යයෙන්ම මැද ලොක්කන් වගකිව යුතුය. මන්ද මැද ලොක්කන්ගේ, සත්‍ය ඉහලට නොපෙන්වන, ලොකු ලොකුකන්ගෙන් ලකුණු ලබාගන්නා, ගන්දබ්බ, දෙබිඩි වැඩ පිලිවෙත විසින් ඒ බිස්නස් එක කබාසිනියා කර ඇති නිසාවෙනි. එදිනට අමුතුවෙන් වහන්නට කොම්පැණියක් ඉතිරිවනු නැතිවුවහොත් පුදුම විය යුතු නැත. පුදුම විය යුත්තේ සිය ගනනක් සේවකයින් තමන්ගේ අනාගත ජීවිතය ‍කෙසේ ගෙනයනු ලබයිදැයි සිතා බලන විටය. එදාට ඔවුන් මැද ලොක්කන්ට කෙතරම් වෛර කරනු ඇත්ද. නමුත් පලක් නොවිය හැකිය. මන්ද ඒ වන විට සියළු දේ සිදුවී හමාර නිසාවෙනි. එනිසා කොම්පැණි ගොඩ ගැනීම දවල් හීනයකට සමාන කළ හැකිය.

මෙපමණ ලියන්නට නොසිතුවත් හිතේ ආවේගය නිසාම ලියවිල්ල වැඩි විය. නමුත් වැඩිපුර ලියූ හරිය පහුගිය නොලියූ කාලයට හිලවු කර ගත හැක.

Friday, February 6, 2009

නූතන බුද්ධි පරීක්ෂණය

animal-in-love

ගොඩක් දවසකින් ලියන්න වෙලාවක් ආවේ… මේක කලින්ම නෝට් පොතක ලියලා තිබ්බ එකක්, පස්සේ බ්ලොග් එකේ දාන්න හිතාගෙන… මම බලපු මාරම ආතල් ප්‍රෝග්‍රෑම් එකක් මේක… අනිවාර්යයෙන්ම ඔබත් බලලා ඇති… මේන් මේකයි උනේ… ඕන එහෙනං අහගන්න…

ලොකු එකී:
හායි!!! අද අපි ඕගොල්ලන්ව හම්බවෙන්නේ අපේ මේ ආතල් ප්‍රෝග්‍රෑම් එකේ තුන් වෙනි සෙග්මන්ට් එකේදි. අද තියෙන සිරාම වැඩේ තමයි බුද්ධි පරීක්ෂණය. අද අපේ තඩි උස කොලු නාම්බා, අර නාඹර ගැටිස්සියෝ හතරදෙනා ගෙන් ප්‍රශ්ණ අහලා බුද්ධිය පරීක්ෂා කරලා හොඳම මීටරේ තියෙන ගැටිස්සිව‍ තෝරනවා. අපි බලමු මොනාද වෙන්නේ කියලා…

(පවු අප්පා අහිංසකී… හරියට කලව වැහෙන්නවත් ගවුං කොටේ තිබ්බේ නෑ. ඒ උනාට මොකද කිටි කිටියේ තදටම ඇඳලා. මස් ගොබ එලියට පැනලා හිරිකිතේ බෑ. ඒත් ඔය හිනා වෙවී ඉන්නේ. ඉඳගත්ත තැන ඒ විදිහටම… හෙල්ලෙන්නෙවත් නෑ… මොකෝ, ඩිංගක් හරි එහා මෙහා උනොත් විලිසංගේ නැතුව යනවා.)

ලොකු එකී:
මේ අපේ ගැටිස්සී නම්බර් වන්.

කොලු නාම්බා:
හායි…

ගැටිස්සී නම්බර් වන්:
හායි අයියා… උම්ම්ම්ම්ම්ම්බා…..

කොලු නාම්බා:
මෙන්න මගේ පලවෙනි ප්‍රශ්ණේ… සිරා ලව් එක ඔයා දකින්නේ කොහොමද?

ගැටිස්සී නම්බර් වන්:
ආාාාහ්… ඔයා මගෙන්ද ඇහුවේ… අනේ ස්වීට්… ලව් එක පේන්නේ නෑනේ… ඔයා මොනා අහනවද මන්දා…

කොලු නාම්බා:
නෑ චූටි… මම ඇහුවේ සිරා ලව් එක කියන්නේ මොකද්ද කියලා…

ගැටිස්සී නම්බර් වන්:
ඔයා ඔය ඇත්තටමද අහන්නේ… සිරා ලව් කියන්නේ… කවදහරි මගේ හබීගෙන් හම්බවෙන එක තමයි.

කොලු නාම්බා:
හොඳයි… ඕං ඊලඟ එක… කසාදයක් බැඳගත්තට පස්සේ ගෑණි ගෙදර ඉන්න ඕනද, වැඩට යන්න ඕනද?

ගැටිස්සී නම්බර් වන්:
ඔයාට පිස්සුද? මොකටද වැඩට යන්නේ… හැබැයි දවස් දෙකකට සැරයක් ඩිනර් අවුට් එකක් යන්න ඕන. අනිත් දවස් වලට ෂොපින් කරන්න ඕන… මම ආසයි හවසට හබී ගෙදර එන වෙලාවට අග්ගලා හරි වන්‍ඩු ආප්ප හරි හදාගෙන පාරදිහා බලාගෙන ඉන්න. අනිවාරයයෙන්ම එයා මට රුලං විසකෝතු ගේන්නත් ඕන… උනුවෙන් නෙස්ටමෝල්ට් එකක් හදාගෙන, රුලං විස්කෝතු ඒකේ පොඟවගෙන කන්න ඕන… සුට්ට සුට්ට් කන්න ඕන… ඒ නිසා කොහොමත් ජොබ් එකකට යන්න බෑනේ අයියා…

කොලු නාම්බා:
හොඳයි, ඕං ඊලඟ එක… බැන්දට පස්සේ ළමයි කීයක් හදනවද?

ගැටිස්සී නම්බර් වන්:
චිකේ… හොඳඳඳඳඳඳඳඳඳඳනෑ… මාර කතා තමයි ඔයත් කියන්නේ… ටීවි එකට කියන්න පුළුවන්ද ඒවා… නෝටි බෝයි… හප්…

කොලු නාම්බා:
හරි එහෙනම් next one. බැන්දට පස්සේ ඉස්සෙල්ලම මැරෙන්න ඕන ඔයාද? හබීද?

ගැටිස්සී නම්බර් වන්:
ඉහි… ඉහි… ඉහි… ඈහ්… ඈහ්… (ගැටිස්සිය හඬා වැලපෙයි)

කොලු නාම්බා:
මොකද මේ අඩන්නේ…

ගැටිස්සී නම්බර් වන්:
අඬනවා නෙමෙයි… ඇ‍‍ඬෙනවා… හබී කොහොමද දවසක් හරි මම නැතුව ඉන්නේ…!!! කවුද එතකොට එයාට වන්ඩු ආප්ප හදලා දෙන්නේ…!!! ඒ නිසා මම මැරිලා බෑ… එයා මැරෙන්න ඕන ඉස්සෙල්ලම…

කොලු නාම්බා:
හරි… අපි හිතමු ඔයා ඉස්සෙල්ලා මැරුණා කියලා… එතකොට හබී වෙන කසාදයක් කරගන්න ඕනද? නැද්ද?

ගැටිස්සී නම්බර් වන්:
අයියා මේ… එව්වා කොහෙද මේ මාත් එක්ක… වෙන එක ගෑණු පුලුටක් හරි ගෙදර හතර මායිමට හරි ගෙනාවොත් බලා ගත්තහැකි මං කවුද කියලා… ඔන්න මං නරක ගෑණියි කියන්න එපා… වැරදිලා හරි එහෙම උනොත්, හබිය කියලා බලන්නෑ… හබියගෙයි, අර ගෑණිගෙයි දෙන්නගෙම කකුල් හතර කඩලා, දෙකක් මූදේ දාලා, අනිත් දෙකත් මූදේ දානවා… හ්ම්… උන් දන්නෑ මං කවුද කියලා…

කොලු නාම්බා:
හරි හරි නංගී… බොහෝම ස්තූතියි… අපි ඊලඟ සෙග්මන්ට් එකේදි ආයේ හම්බ වෙමු… බායි…උම්ම්ම්ම්ම්ම්ම්බා….

-- ඔය විදිහට ගැටිස්සියන් හතර දෙනෙක්ම තම තමන්ගේ මීටරේ රටටම පෙන්නුවා… කොල්ලටත් මොන සැපද, අනංගයාගේ බාප්පටවත් නැති සැප පොරට, මල් හතයි… අපිත් ඉතින් ක‍ට ඇරගෙන බලන් ඉන්නවා… බුදුධිපරීක්ෂණයක් කිවුවම මම හිතුවා මේ විද්‍යාව, ගණිතය, රටේ තත්ත්වේ, ඔබාමා, ගාසා තීරය, ඉතිහාසය, මේ වගේ වැදගත් දෙවල් අහයි කියලා… අප්පිරියාවේ බෑ… ඕක්… හපරාදේ පැය බාගේ… ආයෙනම් මතක ඇති කාලෙකට මේකට සෙට් වෙන්නේ නෑ… (ඔය කිවුවට නිකම් පුහු ආතල් එකකුත් තියෙනවා ඒ වැඩේ…) කරන අය කෙසේ වෙතත්, බලන අය බුද්ධීය පාවිච්චි කරලා, බුදු හාමුදුරුවෝ කිව්වා වගේ නුවනින් විමසලා තවත් ඕවා බලනවද නැද්ද කියලා හිතුවොත් හොඳයි වගේ…