Thursday, April 28, 2011

අළුත් අස්සයා පිටේ සැළලිහිණියා සොයා යාම

මෙය අපි ඊයේ පෙරේදා ගිය වෙරි ඉකොනොමිකල් හදිසි ට්‍රිපක් වූවාය. ප්ලෑන් කර ට්‍රිප් යන්නට මේ ටිකේ අතේ මිටේ මුදල් නැත්තාහුය. මේ සඳහා වියදමකට ගියේ මැගී 4ට රුපියල් 200ක් සහ ප්‍රෙටල් වියදම පමණක් මැ. එසේ වූ කතාව මේසේ යැ.

එදවස පසු ගිය 17 වැනිදා විය. අවුරුද්දට කියා නෑයෙක් මුනිච්චි වෙනවත් කොයි අහක වත් නොගිය මා හට කදිම සිතක් පහල වීය. මේ මනරම් බක් මසයි. එක් පසෙකින් රබන් සුරල් යැ. අනෙක් පසින් කොවුල් ගී යැ. පසෙකින් කැවුම් සැදෙද්දී අනෙක් පසින් ගමේ යුවතියන් ඔන්චිලි පදිමින් ඔන්චිලා වාරම් කියත්.  අපේ ගම එච්චරකට ආතල් යැ. ආතල් එකේත් උපරිමයැ. මෙහෙවු ආතල් ඉවසා වැදෑරිය නොහැකි තැන මා සිත් ලූයේ බ්ලොගීද පටවා ගෙන මාගේ නව අස්ස පුත්‍රයා පිට සැළලිහිණියා සොයා යෑමයි. බ්ලොගී නම් ඔබ දන්නේයැ. නව අස්ස පුත්‍රයා නම් අළුත් හොන්ඩා බාජා 250 CC යන්තරේ මැ. එසේනම් සැළලිහිණියා කවුදැයි දැන් පවසන්නේයැ.

මෙවන් මනරම් බක් මසකදී අපේ ගම් වල අවුරුදු ගැමි කෙලි සෙල්ලං ඉහ වහා යද්දී මේ ආසන්යේ මධ්‍යම කඳුකරයේ කේන්ද්‍රයේ හරි හරි වැ‍ඩ සිදුවෙන්නේයැ. පසෙකින් මල් ෂෝ ය. පසෙකිව් ෆැෂන් ෂෝය. තවත් පසෙකින් කොල්ලන් ඕෆ් රෝඩ් බයික් පදිද්දී තවත් කාණ්ඩයක් මඩ නාගෙන හතර වරක් හතර (4x4) ජීප් පදිතැ. 

කොන්ක්‍රීට් වනය එපා වූවෝ වැව් ඉස්මත්තේ වාඩිවි, කති, බොති, තෙපලති, ගයති, නටති, සැතපෙති. අයෙක් බෝට්ටු පදින කල්හී තවත් අයෙත් වැවේ පාවෙන බෝලයක් තුල යකා නටන්නේයැ. රාත්‍රියට බාබක්‍යු යැ. මියුසිකල් ෂෝ යැ. හාත්පස පට්ට සීතලයැ. එබැවින් ගිනිමැල යැ. කොටින්ම පට්ට ආතල් යැ. යතෝක්ත සැළලිහිණියා වූ කලි ඔය කී ප්‍රපංචයමැ.

මෙය අපට මෙන්ම සැලලිහිණියාටද වසන්තයම වූහ. එබැවින් එදින මධ්‍යහන හෝරා දහයකුත් එකක් පසුවී විනාඩි තුනක් වූ කලි බැග් කැරියර් හී බැඳ කලිසම් ද ජැකට් ද සාළු ද ඇඟ වටක් ඔතා අස්සයා පිට නැගි හිටගෙන කික් කොට ඌ පණ ගන්වා හෝරාවකට මයිල 40ක් හෝ 50ක ඔට්ටුවට නුවරඑලිය බලා බණ්ඩාරවෙල සිට ඇද්දාහුය.

මෙපමණ අරුමයකි. හැල්මේ පැදගෙන වැලිමඩත් පහුකර ආපසු බොරගස් සිට හක්ගල හරහා නුවරඑළිය මධ්‍යය දක්වාම පට්ට ට්‍රැෆික්යැ.  ලක්ස 30, 40, 50, 60 සහ ඊට වැඩි ආදී වූ අනේක විධ මිල ගන්න ඇති වටිනා සිව්සක් රියන් හී නැග කොළඹ රටේ පොෂ් ඩයල් නුවරඑළිය බලා ඇදෙති. ඒ සැළලිහිණියා දැකබලා ගැනීමේ අටියෙනි. නමුදු පාර අබලන්යැ. එබැවින් ට්‍රැෆික්යැ. එපමණක් වූ ට්‍රැෆික් මැද්දෙන් අරෙහෙන් මෙහෙන් දම්මා කාර් වෑන් කැබ් පිකප් වල කනෙන් රිංගා ඔවුන් ඔල්මොරොන්දම්ව හෝරා තුන හතරක්  ට්‍රැෆික් ජෑම් මැද්දේ බලා සිටියදී විනාඩි 45ට රූං ගා (සොරි ග්රූම්  ග්රූම් ගා) ගමනාන්තය‍ට ලඟා වූවෙක් වේ නම් ඒ අපි පමණක් වූහ.

එපසින්ද මෙපසින්ද ට්‍රැෆික් ජෑම්ය. ජෑම් කෙසේවෙතත් ට්‍රැෆික්ය.


අපි ග්‍රෙගරි වැව ඉස්මත්තට සැපත් වූයෙමු. හොන්ඩා සිවික්, ටොයෝටා ප්‍රියස්, ඩොල්ෆින්, ලෑන්ඩ් රෝවර් මැද අපේ අස්සපුත්‍රයාත් ගාල් කලෙමු. මුත්‍රා ඩිංගක් පිටමං කිරීමට නැවත නගර මධ්‍යයට ගිහින් ආවෙමු. එවන් කැසිකිළියක් මං නම් දිවිතිබූ තුරා දැක නැත්තේය. එවන් සුඟන්දයක් මින් පෙර විඳ නැත. ශ්වේත වර්ණ සෙරමික් පෝච්චි වල එකි නෙකාට අයත් දුඹරු පැහැයට හුරු කහ පැහැ මුත්‍රා දියර සුදු පැහැ පෙණ බුබුලු දමමින් නැගී පිරී ඉතිරී යන්නේයැ. ඒ නම් මේ දැන් කෙනෙකු මෙය පිරවූ බවට සාධකවේයැ.

මුත්‍රාකර නැවත වැව් ඉස්මත්ත‍ට ආපසු අප ‍දුටු දර්ශණයෙන් අපම මවිත වූහ. අපි එපමණක් පීඩා විඳ නගර මධ්‍යයේ පොදු කැසිකිලියේ මුත්‍රා කල නමුදු අයෙක් බොහෝ නිදහසේ වැව් ඉස්මත්තේම තම කාර්යය ඉටුකර ගත්තාහුය.




අපි මැගී කෑවෙමු. ඕනෑනං බාබක්‍යු සහ ඉස්ටයිල් එකට තාච්චිය උඩ දදා නට‍ නටා පිසූ මේ දැන් ලිපෙන් බාන ලද ෆ්‍රයිඩ් රයිස්ද තිබුණි. මිල වැඩි නිසා අපි ඒදෙස වත් නොබැලුවෙමු. මැගී දෙකක් මදි වූ තැන තවත් මැගී දෙකක් ගෙන ආවෙමු. කෑවෙමු. තෙපලුවෙමු.

මේ සැළලිහිණියා නම් මනරම්යැ. පසෙකින් හරිත පැහැයට කඳු සහ තේ වතුය.


තවත් පසෙකින් පෙර කී ලෙස වට පිට හුදී ජනයා අරභයා ටටා පෙන්නමින් බෝට්ටු පදින සංචාරකයන් පිරිසකි.




‍අයෙක් ලෝක කුසලාන සහ අයි පී එල් උණ වැදී වැව් ඉස්මත්තේ ක්‍රිකට් ගසති. හිස් ලූ ලූ සැම දෙසකම ජනී ජනයා ඔවුනොවුන්ට ආවේනික වූ ආතල් ගන්නේය.


අයෙක් වැව මැද්දේ පාවෙන හුලං පිරවූ බෝලයක් තුලටවී කෙලින් නැගී සිටීමට දෙන ට්‍රයි එක බලන්නම වටින්නේයෑ.


 එම මනුස්ස පුත්‍රයා ඒ තුලම හතර ගාතෙන් වැටෙන ආකාරය දැක වටේ සිටින්නෝ ප්‍රීති වූහ. මා සමග ගිය බ්ලොගියාගේ මූනද ඇද වූයේ ඔහු වැටෙනවා දැකීමෙන්ය.


බැලුන් පැදීමට තවත් අයෙකූ ගාටන තෙක්, බැලුම් ඕර්ගනයිසර් යුවතිය බැලුම අකුලා ඒ ඇසිල්ලෙන් තෙලපවුසුව ආධාරයෙන් තම ප්‍රිය පෙම්වතා අමතා බොලඳ බස් දොඩන්නී, මා කැමරාව මාන්නන අයුරු දැක ඉවත බලා ගත්තාය.


මිනිස් තුන්පත් රෑනක් එනම් මව පියා සහ පුතනුවන් තණ බිස්සේ බෙඩ් ෂීට් එලා ගෙන දරු සුරතල් කරන්නේයැ. පහත පැනොරාමාව මත මූසික ඔබා මහ කර බලන ඔබට මැද හරියේ ඔවුන් දිස්වෙති.


එපසින් වැව් ඉස්මත්තයැ. අනෙක් පසින් ග්‍රෙගරි වැව ද ඇත්තේය. වැවෙන් එහා ඉස්මතතද මෙවැනිම සංදර්ශණ වලින් පිරී ඉතිරී යන්නාහුය.


මේ සියළු විච්චූරණ මධ්‍යයේ එදාවේල සපයා ගැනීමට දියෙහි රඟ දෙන මත්ෂ්‍යයෙක් විශේෂයක් අල්වා ගැනීමට හොරාගනනක් නොසෙල්වී සිටි අයෙක් විය. ඔහු නමින් අංකල් යැ. මේ ඒ අංකල්ය. පැයි දෙක තුනක් අවසනදී ඔහු හොඳ අස්වැන්නක් ලැබීය.


පොටෝයන්ත්‍රය තණකොල බිස්සක රඳවා ඔටෝ ටයිමින් කොට මේ ගත්තේ අපේ පිංතූරයකි. යන එන මග තනි නොතනියට ඇයට මාව මෙන්මැ මාට ඇයම වේමැ.  කා අහවර වූ මැගී කෝප්පයක්ද පසෙකින් සිනා සෙනසේය.


මේ නම් අප වටා ඇති කුදු මහත් ලෝකය බ්ලොගී ගේ සයිබර් පහරේ මොනවට සටහන් වූ ආකාරයයි.  මෙතැන නම් ඇත්තටම පොළව ඇදය. මන්ද යත් ඒ වැව් ඉස්මත්තේ සිට වැව තෙක් වූ බෑවුම නිසාවෙනි.


හිමකිරම රැගත් බයිසිකල් වල නැගී මාමලා වෙලඳාම් කරන්නේය. හිම කිරම රස බව දන්නා වුවත් ඒ දෙස බලා පමණක් සතුටු වීමට අපි ඉටා ගතිමු.


ඒ අතරෙමැ මෙවැනි මොඩර්න් ෆැෂන් වලට වහ නොවැටුනාවූ, තමන් හැමදාම දකින වැවේ, වැව් ඉස්මත්තේ ආතල් ගන්නට රෑන් පිට්න් ආ ආගන්තුකයන් නොදූටූ දෑස්ව, එවුනගේ සංගීත රාවයන් නොඇසූ කන්ව, ලැයිම යැයි නමු තැබූ තමන්ගේ මන මන්දිරය සොයා ඇදෙන්නාවූ වතු වැසියන්ද නැත්තාහු නොවේ.


දැන් රිටර්න් බැක් එකට වෙලාව සරිය. පසෙකින් ඕෆ් රෝඩ් බයික් සහ ජීප් රේස් හඬ ඇසේ. ආ. මේ නම් ජීප් රථයකි. ඌරෙකු නොව ජීප් ම රථයකි.


දැං යමුය. මේ මාගේ ගමන් සහායිකාව සහ අස්ස පුත්‍රයාය. හිස් මැගී කෝපප සහ මයිලෝ ඩප්පි අතැතිව ඇත්තේ ඈය. තඩි ඇස්ගෙඩි දෙක විහිදාගෙන අප දෙස බලාසිටින්නේ ඌය.


 හෝරා කිහිපයක විවේක‍යකින් පසු බොම්බයි මොටයි එකක් බ්ලොගී අත‍ට දී ඈ සනසා නැවත බණ්ඩාරවෙල බලා අස්සයා පිටින්  විද්දේ වර්ෂාවට පෙර සැළලිහිණියාට අයුබෝවේවා කියමින් මීල අවුරුද්දේත් නැවත එන පැතුමෙනි.


උක්ත රචනාව කියවා දිව සැපුණු අය ගැන වගකීමක් රචකයා විසින් දරණු නොලබන බව සලක‍න්න.

24 දෙනෙක් හිතුන දේ කිව්වා:

  1. කියෙව්වේයැ. ඔලුව මඤ්ඤං උනේයැ. හොද වෙන ලකුණු තිබූ පිස්සුව නැවත වැඩි උනේයැ. :D

    ReplyDelete
  2. එලයැ, පට්ටම පට්ටයැ..
    යන්නම සිතුනේයැ...
    ආයෙම ලියන එක ගැන සංතෝසයැ.

    ReplyDelete
  3. වගකීමක් නොදරන බව කියා ඇති බැවින් කිසිවක් නොකියමියැ... :D

    ReplyDelete
  4. ශෝක්......නියම කපල් එක

    ReplyDelete
  5. කියෙව්වේ නැහැ පින්තූර පමණක් බැලුවා

    ReplyDelete
  6. උඹලා දෙන්නා ආතල් ජෝඩුව බං...
    අම්මපා කලින් කිව්වනං මං ගානෙත් ආධාරයක් හැටියට සුපියල් දහයක් එවනවා ඔය ගමනට වියදං කරන්න...
    නියම පොටෝ ටික..

    ReplyDelete
  7. මෙ හින්දා තමයි බන් මමත් උඹට ආදරෙ.... හික් හික් කුශන් අයියා.. තව රවුමක් ගහලා වගෙ.. :D:D:D:D

    ReplyDelete
  8. හි හී නියම සවාරියක්

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. උබලා ගැන මට ඊරිසියා හිතෙනවායැ... ලබන සැරේ යන විට අපිත් කැටුව යනවැයැ

    ReplyDelete
  11. එහේ මෙහේ කොහේවත් නොපෙනෙන්නේ මන්දැයි ලතැවුණෙමි. ඒත් හැංගී ගොස් ඇති ගමන මනාය. ඒ ගැන ලිවිල්ලද එසේමයැ. සැළලිහිණියගේ තොලොංචියට පසු ඇහැක්නම් මසක් පාසා පැමිණෙන තව තවත් කොටින්, මුවන්, හාවුන්, කබරගොයින් වැනි එකී මෙකී නොකී නා නා විධ සත්ත්ව වර්ගයා හමුවී ඒ ගැනද ලියන්නේ නම් මැනවි! ;-)

    ReplyDelete
  12. මං බැලුවාලු.. ඊරිසියා හිතුවේ නැතිලු ඇ............

    ReplyDelete
  13. පට්ටයැ.. සිරායැ... මමනම් ඔය හිටපු සෙනඟ කද ගැන දනිමි.....

    ReplyDelete
  14. මේ නැම් දෙසක් රියැ සංදේශ කාව්‍යක්ම වෙයි...

    හැබැයි පුතෝ, තෝ බොරු ගනන් හිලව් පෙන්නල තියෙන්නෙ.... කෝ බොල මයිලෝ එකේ ගාණයි, බොම්බයි මොටයි එකේ ගාණයි බජට් එකට දාල නෑනෙ......?

    ReplyDelete
  15. ෆට්ටයැ . . . එලයැ . . . .
    මහා කිවි වන්නියන්ගේ සැලලිහිනි වැනුමෙන් අප්‍රමානවූ ආනන්දයෙන් අමන්දානන්දයටැ පත්වැ ගියෙමි. වැනුමැ නම් උත්කෘෂ්ඨ බැවු නොකිවැමනායැ. යතුරු අසු පිටැ නැගි වන්නි තෙමේ පසුපසින් බ්ලොගියන්ද වඩා හිඳුවා බණ්ඩාරවෙල නුවර සිට සැලලිහිනි වසන්තය අත්විදිනු රිසින් යෙදෙන්නට වන්නාවූ මේ සංචාරය එකල්හි කන්ථකයන් පිට නැගි සිදුහත් කුමර තෙමේ පසුපසින් ඡන්නයන්ද හිඳුවාගෙනැ නේරංජනා නදී තරනයැ ආකාරයැටමැ මා සිත්හි ප්‍රාර්දුභූත වන්නේ ලුවී වැන්ඩාස්ට්‍රිනයන්ගේ සිනමා සිත්තමකමැ ආකාරයටමැය . . . . .
    ෆං කඳු පිටිංමැ පහකි . . .

    ReplyDelete
  16. පිස්සු පීකුදු වී ගියේයැ... තිබු දඬු මොනරය විකිණිම ගැන දුක්වෙමි.. :'( ගමන ආතල් බැව්පෙනේ... :)

    ReplyDelete
  17. දඩු ෙමානරැ අරහංය (ලග නැති නිසා) පුෘෙඩා නිකං ලැබුෙනාත් පදිමි. ඒලය ෙජා්ඩුවද මල්ය. ඔෙහාම යං. ඒඩරා වන්ඩි

    ReplyDelete
  18. එලැ ය. පට්ට ය. නියමෙට ලියා ඇතැ ය.

    අපරාදෙනෙ ගද උහුලගෙන කැසිකිළියකට ගියේ. වැව් පිටියෙ සිහිල් සුළං වැදි වැදි ඔය වැඩේ කරගන්න තිබුණනෙ.

    ReplyDelete
  19. මෙහෙම පෝස්ට් එහෙකට බයික් එකක්, එක්ක යන්න කෙල්ලෙක්, යන්න එන්න පෙට්‍රල්, කන්න බොන්න සල්ලි විතරක් තිබිලම මදියි. හැකියාව තිබිය යුතුමයි. සිරා!

    ReplyDelete
  20. මමත් ගියා නෙ..බයික් කො අපිට..ජීප් එකෙ තමයි ඉතින්..ඔෆ් රොඩ් පදින්න නම් දෙන්න බැ කිව්ව..නැ නැ සංවිධායක මණ්ඩලේ නෙවෙ ඉස්සෙල්ලම එපා කිව්වෙ අපේ අප්පොච්චි නෙ..ඉතින් ඔහොම වැව් ඉස්මත්තෙ ඉඳල අඹේවෙලත් ගිහින් මල් වත්තෙ මලුත් බලල සී ප්ලේන් එකෙ ගාන විතරක් අහල අපි එන්න ආව..අර බොලෙ තිබ්බෙ නැ හැබැයි එදා ..

    ReplyDelete
  21. @අනුරාධ
    අසුවල් පිස්සුවක්දැ? :-)

    @ප්‍රියා
    ලිවිල්ල නවතා නැත්තේයැ. බට් ලියන්ට දේවල් නැත්තේයැ. ;-)

    @නිශාචරයා
    උඹේ දිව සැපීම අරභයා කමත්වා ;-)

    @සිතුවිලි නිහඬයි
    නිහඬ යැය තෙපලු පමණින් ඔබ නිහඩ නොවේ මැ. තුතිය. :-)

    @වැපා
    උඹ කොහොමත් අකුරු නොදන්නා බව දිනක් මට තොපගේ දිසාපාමොක් ඇදුරුතුමන් මුනගැසී වදාලහ. :-)

    @මාරයා
    සුපියල් දහයෙන් අද කල හැකි කජ්ජ කිම? නමුත් තොපගේ පරිත්‍යාගශීලීත්වය අගයමු. අස්සයා සර්විස් කරනට කොලඹ ආ දාට උඹ බැලීමට අවුත් උඹත් එතැනට කැටුව යන්නෙමු. එදිනට තොපගේ පරිත්‍යාගශීලීත්වය මැනීමට මා ලොල්ය. ;-)

    @රවා
    ඒ කෙසේ වුවදු, මට උඹ අරභයා ආදරයක් හට නොගනීමැ. මංද මම ගේ හේවත් කොලුකාරයෙක් නොවම්හ ;-)

    @හසී නගා
    එහෙයි එහෙයි

    @සහොධරයා
    කාණ්ඩය කැටුව යාහැකි ගනයේ සතර වරක් සතරක් ගැනීමට මගේද සිහිනයක් වේයැ. එය සපල වූ කල්හී තොපද කැටුව යමි. :-)

    @හරේ
    දහසකුත් එකක් සත්ත්ව වර්ගයා හමුවිය හැකිය. බට් ප්‍රථමව හෙඩ් ඔපීසියේ සිය දහසින් බැඳි පියලි පිරි පඩි මත මා සොයා පැමිණිය යැතුය. :-) සහ එය රිසි විය යුතුයැ. මෙය හරි නොගියොත් වෙනත් ජොබක්ද සොයන්නට වේයැ. එබැවින් ට්‍රිප් යෑම පිළිබද ඇත්තේ අවිනිශ්චිත බවක්මැ.

    @පසන්
    තොපට ඉරිසියා නොසෑදෙන්නේ මක්කටැයි ඇසුවේලු ;-)

    @අභී
    තොප නොදනී නම් ඒ ජන කඳ දැනීමට මේ මිහිපිට වෙනකෙනෙකුන් හෝ නැත. මන්දයත් ඔබත් සරන්නෙකු බැවිනි. ;-)

    @දුමී
    තොප දැන් ෆොරිනයට වී කල් මැරුවා ඇතිය. මව් බිමට සැපත් වී අප හා ආතල් ගැනීමට මේ කල මනරම්ය. :-) තිස්ස සහ දුකාගෙන් ඒ ආතල් ගැන නොඅසා ස්වකීයව පැමිණෙන්නේනම් මැනෙමි. මන්ද ඔවුනේ ගේ වහසි බස් අසා තොප නොමග යෑමට ඉඩ ඇත. :)

    @ඕනයා
    මවිසිනුත් ඔබ අරභයා පංචයකි. තොප ප්‍රති වදන කියැවීමට ගොස් මහා කවි වන්නි තෙමේගේ ජිව්හා ඉන්ද්‍රීයය, කෘන්තක රදනක පුරස්චාරවක චාර්වක ආදී වූ සතරවිධ ධන්ත මස්තකයන්ට මැදිවැ තැලී පොඩිවී ගියේයැ. :-)

    @චන්දික
    තොප වැනි චන්දිකයෙක් මින් පෙර දැකැති බව පෙනේමැ. අලුත් අසුන් ගැනීම අරභයා පරණ අසුන් මුදල් කිරීමට සිදුවීම මටමැ දුකකි ;-)

    @prabathw7
    ප්‍රභාත තෙමේ මින් පෙර දැක නැතුවාට සැක නැති. වෙල්කම්ය. :-)

    @ප්‍රසන්න
    එය හුදෙකලා වූ වන පියෙසක් නම් මා අනිවා තොප කී ලෙසමැ කරමි. :-)

    @මුචලින්ද
    මුචලින්ද තෙමේ ලියන්නෙක් වූ කල්හී දක්වන දස්කම් දැක තුටු වී පිටාර ගිය සිත් ඇති අප ට ද තව තවත් ලිවීමට සිතීම තොපගේ හා ඔවැනි ලියන්නන්ගේ උත්ප්‍රේරක නිසාවෙන්මැ. :-)

    @පැන්ඩා
    එහෙව් රියකැ නැගී යාම මාගේ ද පරම අපේක්ෂාවක් වේ. නමුදු පොකැට්ටුවේ පවතින් ඉකොනොමිකල් ක්‍රයිසිස් නැමැත් වා සුලයි නිකමැ යන තෙක් එකත් පස්ව බලා හිඳීමට සිදුවැ තිබේ. :-)

    ReplyDelete
  22. අර බ්ලොගියා ගේ මූණ නම් මරු. මැගී කාපු නිසාද කොහෙද මගෙ හිතේ!

    ReplyDelete
  23. ගොඩ වුනේ අදමය. (අධමය නොවේ).
    ලියවිලි ද අගනේය..

    සැළලිහිනි චාරිකාවක් මේ තරම් පහසුවෙන් කල හැකි තැනක ජන්ම ලාභය නොලැබිම ගැන දුක හිතුනේ ය.චාරිකාව සහ සටහන එතරම් සුපිරිය...

    ReplyDelete
  24. උපරිමය පට්ටය තාත්විකය
    ජීවිතය විදින්න රුපියල් දෙසීයක් උපරිම ඇති බව මට සිත් විය
    පෙර අස්වයාගේ පිටින් වැටි කකුල කැඩී තවමත් ඇදුම් දෙයි , එහෙත් යලිත් ඇස්ගෙඩි දෙක ලොකු වෙච්ච වන්ඩියක් ගැනීමට සිත බල කරයි
    එහෙත් මම පවුල්ය තවද පියෙක්ය
    ඒ ආතල් අතීතයට බාර දෙමි
    අයෙත් ලියමු සහෝ උඹට ඉස්තුතියි
    මිට නුවර - සැමා , නොහොත් සැමියා නොහොත් sam

    ReplyDelete