Monday, July 26, 2010

‍දෙසක් රියේ චාරිකාව - 2

ආයුබෝවන් කිව්වා කට්ටියටම. කොහොමද සැප? සනීප?

අද තවත් පොරොන්දුවක් ඉෂ්ට කරන්නයි යන්නේ. කට්ටියටම මතක ඇති පහුගිය වතාවේ, ඒකියන්නේ අපේ දෙසක් රියේ චාරිකාවේ 1 වැනි ගමනේ අපි ගිය දිහාව. අපි ගියේ ටවර්ස් බලන්නනේ. ඒකියන්නෙ බණ්ඩාරවෙලට උඩින් නායබැද්ද කන්ද මුදුනේ. එතන තමයි අයිටීඑන්, ස්වර්ණවාහිනී, ගුවන්විදුලි සංස්ථා වාගේම තවත් සම්ප්‍රේෂණ කුළුනු කිහිපයක්ම තිබ්බේ. අපේ ගමනේ අත්දැකීම්, බ්ලොග් එක හරහා ඔයාලත් බෙදාගත් වග ලැබුන ප්‍රථිචාර වලින්ම අපිට තේරුණා. බ්ලොග් පිටුව ඇතුලේදී වුනත් මලීට ඉන්දරේ‍ට පිස්සට ආදී කට්ටියටම  නායබැද්ද කන්ද මුදුනේ සීතල දැනිලා තිබුනා. :)


ඒ වගේම අපි ප්ලෑන් කරලා තිබ්බේ අපේ දෙවෙනි චාරිකාවත් බොහෝම ඉක්මනින්ම යන්න. ඒත් බ්ලොගීටයි මටයි ඒ වැඩේට සුදුසු ගමන් සගයෙක් හිටියේ නෑ. ඒ කියන්නේ සුදුසු දෙසක් රියක් හෙවත් සුදුසු බයික් එකක් තිබ්බේ නෑ. තිබ්බේ බජාජ් බොක්සර් එකක්. ඒකෙන් කඳු නගින්න අමාරු නිසා තමයි අපි අපේ ආදරණීය හාලි ඉපදෙනකං හිටියේ. ෂේනා හාලිව උපද්දවන්න මාස හය හතක් ගත්ත නිසා ගමනත් පරක්කු වුනා. ඒත් හාලි ඉපදිච්ච ගමන්ම මායි බ්ලොගීයි අපේ දෙවැනි චාරිකාව යන්න පිටත් වුනා. ඉතින් අද අපි බෙදා ගන්න යන්නේ ඔන්න ඔය දෙවැනි චාරිකාවේ අත්දැකීම්.

පළවෙනි චාරිකාවේ අන්තිමේදී අපි පොඩි හෝඩුවාවක් දුන්නනේ ඊලඟ පාර අපි කොහේද යන්නේ කියලා. අපි යන පාරත් ඔයාලට පෙන්නුවානේ. ඉතිං මුල ඉඳලාම කියන්නේ නැතුව අර පාරවල් දෙක බෙදෙන හංදියෙන් අපි දකුණට හැරුණ තැන ඉඳලා පටන් ගමු. අපි එදා හැරුනේ වමටනේ. අද දකුණට. ඒ කියන්නේ අපි යන්නේ “ලිප්ටන් සීට්”. තවත් විදිහකින් කියනවනම් ලංකාවෙන් රට පටවන, සුද්දෝ එලව එලව හොය හොය බොන, ඉතාමත්ම රසවත් සුපිරි ගනයේ තද කළු තේ (black tea) නිෂ්පාදනය කරන ලංකාවේ හොඳම තේ වත්ත මැදින් ගොඩාක් උඩකට යන්න. එතන තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ නැරඹුම් ස්ථානයක් එහෙම නැත්නම් විව් පොයින්ට් (view point) එකක් එහෙමත් නැත්නම් පිල්කිංටන් පොයින්ට් (pilkington point) එකක්. ඒතන නම ලිප්ටන් සීට්. ලිප්ටන් කිව්වම කාටත් කොහොමත් මතක් වෙන්නේ තේ නේ. :)

ගිය පාර අපි ගමන පටන් ගත්තේ හවස් වරුවේ ආරම්භයත් එක්කනේ. ඒත් මේ වතාවේ අපි හිතුවා ටිකක් උදෙන්ම ගමන යන්න. කලින්ට වඩා දුරත් වැඩියි. කිලෝ මීටර් 20කට වැඩිය මං හිතන්නේ එක දිගටම කන්ද. කොහොමත් අපි උදේ 9ට විතර බ්ලොගීල‍ගේ ගෙදරින් ගමන ආරම්භ කලා. කලින් වතාවේ වගේ ම බණ්ඩාරවෙල ස්ටේෂන් එකට උඩ පූනාගල පාරේ ටික දුරක් ඇවිල්ලා නායබැද්ද වත්ත පැත්තට හැරුණා. ෆැක්ටරි එකේ ගේට්ටුවෙන් ටිකට් ගන්න වෙලාවේ ගියපාර අංකල් වෙනුවට අළුත් අංකල් කෙනෙක් හිටියේ. පරණ කතාවම ආපහු කියන්න ඕන නැති නිසා අපි එයාගේ ෆෝටෝ එකක් ගත්තේ නෑ. මතකයිනේ පාර. ෆැක්ටරිය මැදින් කන්ද මුදුනට

 
අපි ඉක්මනටම පාරවල් දෙක බෙදෙන තැනට ආවා. අපරාදේ කියන්න බෑ අදත් මීදුම පිරිලා. සීතලේ බෑ. පුංචි බයකට තිබ්බේ ෆොටෝ කෑල්ලක් පැහැදිලිව ගන්න බැරිවෙයිදෝ කියන එක විතරයි.  මෙදා පාර අපි ණයට සංඛ්යාංක කැමරාවකුත් යාලුවෙක්ගෙන් ඉල්ල ගත්තා. පහුගියපාර ‍පිංතූර වල මනුස්ස පරාණ හරියට පේන්න නෑ කියලා ඉන්දරේ මලය කියලත් තිබ්බනේ. මෙදා ඒ ගැටළුව නෑ.
මෙන්න අපි හැරෙන තැන. වම‍ට ගියොත් ටවර්ස්. දකුණට ගියොත් ලිප්ටන් සීට්.


මේ කියන තැනින් දකුණට හැරුණම අපි එක කන්දකින් තව කන්දකට මාරු වෙනවා. තව විදිහකින් කියනවානම් එත තේ ජාතියකින් තව තේ ජාතියකට මාරුවෙනවා. ඒ කියන්නේ නායබැද්ද වත්තෙන් දඹේතැන්න වත්තට.

දඹේතැන්න වත්ත ඇත්තටම ලස්සනයි. වෙලාවකට හිතෙනවා මේ ලංකාවද කියලා. ඒ තරම්ම ලස්සනට පිළිවෙලට ඒ වත්ත මේන්ටේන් කරනවා. කුණු ඩිංගක්වත් එහෙ මෙහෙ විසිකරලා නෑ. එහෙම නැතුව කොලිට් එක තියාගන්න බෑනේ. අනික මතකනේ, කලින් වතාවෙත් කිව්වා මෙහේ මිනිස්සු පරිසරේට හරිම ආදරෙයි. ඒ මිනිස්සු ඉපදෙන්නේ මේ මීදුම මැ‍ද්දේ. පුංචිකාලේ සෙල්ලං කරන්නේ මේ මේ මීදුමකත් එක්ක තේ වතු මැද්දේ. රස්සාව‍ට කරන්නෙත් තේ ගස් එක්ක ඔට්ටු වෙන එක. මැරිලා යන්නෙත් මීදුම් හීතලේ. ඒකයි උන් මේවට එච්චර ආදරේ.

මේ තමයි අපි යන පාරට ඈත පේන හැටි. මතක ඇතුව ක්ලික් කරලා ලොකු කරලා බලන්න. මෙදා පාර පොටෝ ටික යහමින් තියෙනවා.


විනාඩි දෙකයි එකදිගට. මෙන්න අපි දැන් දඹේතැන්න වත්තට පිවිසුනා.



මේ හරියෙන් තමයි වත්ත පටන් ගන්නේ. මේ වත්ත හැරිම විශාලයි. ඩිවිෂන්ස් කිහිපයක්ම තියෙනවා. අපේ පාර දැන් දිග ඇරෙන්නේ බණ්ඩාරඑළිය ඩිවිෂන් එක දිහාවට. මේ හරිය වෙලාවකට ලොකු සානුවක් වගේ පේනවා. තවත් වෙලාවකට නිම්නයක් වගේ. මීදුම එක එක පැත්තට පෙරළි පෙරළි අපිව පිස්සු වට්වනවා. ස්වභාවධර්මයේ අපූරුතම චමත්කාරයන් අපි ඉස්සරහා මවනවා.

මේ බලන්න අපි යන පාරෙන් පහල පැත්තේ හපුතලේ පැත්තට වෙන්න තියෙන බෑවුම. එක දිගටම තේ යාය. පහල හරියේ ගමකුත් තව ෆැක්ටරි එකකුත් පේනවා නේද? අපිට පේනවා හරිනම් ඒතමයි දඹේතැන්න වත්තේ නැවුම් තේ දළු වලින් බ්ලැක් ටී හදාගන්න ෆැක්ටරිය.




බලන්න මීදුම කොච්චර අපූරුව‍ට කඳු දෙක මැද්දෙන් උඩට පාවෙලා එනවද කියලා.  මෙන්න පුංචි ඉඟියක්. ඔය උඩ දෙවැනි පිංතූරේ තියෙන කන්ද උඩට තමයි අපි යන්න ඕන. සෑහෙන්න උසක්. මට අපේ හාලිව ෂුවර්. ඒ නිසා ඔය කන්ද මහ කජ්ජක් නෙමෙයි.

හැබැයි එක තැනකදී අපට පාර වැරදෙන්න ගියා. පහල පිංතූරේ තියෙන ටැක්ටරේ ගිය අය තමයි අපිව හරිගැස්සසුවේ. නැත්නම් අපි එක පාරින්ම පල්ලමේ හපුතලේ ;) බලන්න පාර. පීත්ත පටියක් වගේ “කව අතු කපපු” තේ යාය මැද්දෙන් යන අපූරුව. ඔය තේ රිලේ‍ටඩ් වර්ඩ්ස් අපේ බ්ලොගී හොඳට දන්නවා. මොකද එයා ඉපදුනෙත් බදුල්ලේ තවත් ලස්සනම තේ කළාපයක් මැද්දේ.



හප්පේ ඔන්න අපි බණ්ඩාරඑළිය ඩිවිෂන් එකට ආවා. මං කිව්වත් වගේ ඇත්තටම ලංකාවද කියලත් හිතෙනවා. බණ්ඩාරඑළිය ඩිවිෂන් එක එච්චරකට ලස්සනයි. එක දිගටම යායට ලා කොළ පාට නාඹර තේ ගස්. ඒ ගස් ලඟින් එන නැවුම් සුවඳ මට මේ බ්ලොග් එකේ වචන වලින් විස්තර කරන්න හරිම අමාරුයි. ඔයාලත් දවසක ඇවිල්ලම බලන්න වටිනවා මේ දේවල්.

මෙන්න බණ්ඩාරඑළිය ඩිවිෂන් එක. ලොකු කරලම බලන්න අපූරුව.



මෙතන ඉඳන් කිලෝමීටර් 3ක් තියෙනවා ලිප්ටන් සීට් එකට. නොදැනුවත්වම සෑහෙන්න දුරක් ඇවිල්ලා කන්ද උ‍ඩට. අනික කතාව පටන් ගත්තෙත් මුල ඉඳන් නෙමෙයිනේ. එදා නවත්තපු තැන ඉඳන්නේ. සීතල නිසයි, මේ සුන්දරත්වය නිසයි ඇඟට කිසිම අමාරුවක් නෑ. ඒත් බයික් එකේ පිටිපස්සේ බම්ප් වෙවී ඇවිල්ලා බ්ලොගියට මහන්සිදත් මන්දා? ;)


මේ තේ ගස් සෑහෙන්න උවමනාවෙන් මහන්සියෙන් බලා කියා ගන්න ඒවා. ඒ මහන්සිය නිසයි අපේ තේ වල උසස් තත්ත්වය ලෝකේ පුරාම තාමත් රැඳිලා පවතින්නේ.  බලන්න ලස්සනයි එක රටාවට එක උසට තේ ගස් හැදිලා ලා දළු දාලා තියෙන උජාරුව. මේ ලා දළු වල තියෙන දිලිසෙන ඔපේ බිට්ස් ඇන්ඩ් බයිට්ස් වලට හරවන්න අපේ කැමරාව කොච්චර දක්ෂද කියලා මම දන්නේ නෑ. ඒක ඔයාලම තීරණය කරන්න ලොකු කරලා බලලා.



තේ වත්තක් කිව්ව‍ට මේක තනි වත්තක් නෙමෙයි. ලොකු වතු ජාලයක්. නිෂ්පාදනයේ උසස් තත්ත්වය රැකගෙන මේ වතු මේන්ටේන් කරන එක හොඳ කළමණාකාරීත්වයක් නැතුව කරන්න බෑ. ඒ නිසයි වතු එක එක කොටස් වලට බෙදලා තියෙන්නේ. මේ බණ්ඩාරඑළිය ඩිවිෂන් එක දඹේතැන්න වත්තේ ඒ කියන්නේ දඹේතැන්න ගෘප් එකේ කොටසක්. දඹේතැන්න ගෘප් එකේ අයිතිකා‍රයෝ තමයි ආගරපතන ප්ලාන්ටේෂන්. කළමනාකාරීත්වය කරන්නේ ලංකෙම්. (ගොවියාගේ.... හිතමිතුරා.. ලංකෙම්!) මතකනේ ... පොඩි ඇඩ් එකක්. :) ඌව දිස්ත්‍රික්කය කියලා ලියලා තියෙන්නේ පරණ ක්‍රමේට. මේක ඌව පළාත නේ.

මෙතන තවත් ලස්සන දෙයක් තිබුණා. ඒ තමයි වත්තේ මිනිස්සු වන්දනා කරන, බාර හාර වෙන, පඩුරු බඳින පුංචි දේවාලයක් හෝ ඒ ආසන්න තැනක්.  ටිකක් ජරාජීර්ණ වෙලා තිබුනට හොඳට සුද්ද පවිත්‍ර කරලා තිබ්බා. අපිටත් මදෑ. ගැහුවා පොටෝ කෑලි දෙකක්ම.


හරි. දැන් ඇති හිටියා. ආපහු යන්න පටන් ගමු. අපි ඉතුරු කිලෝමීටර් තුනත් යන්න පටන් ගත්තා. කොහේ යනවද? බලන්න දේවල් එමටයි. මේ වතුවල ආගම් බේදයක් නැති තරම්. හැම ආගමකම වගේ කට්ටිය ඉන්නවා. මෙන්න සාක්ෂි.


මෙච්චර වෙලා මෙච්චර දුරක් ඔයාලා එක්ක ආවට තාම මනුස්ස පුළුටක් වත් පෙන්නුවේ නෑනේ. මෙන්න එහෙනම් කිව්වත් වගේ ජීවිත කාලෙම තේගස් එක්ක ඔට්ටුවෙන අහිංසක මිනිස්සු. පොටෝ එකක් ගන්න බව තේරිලාද කොහෙද බොහොම ආදරණිය විදහට අපි දිහා බලාගෙනත් හිටියා


බයික් එකේ යන ගමන් පිටිපස්සේ සීට් එකේ ඉඳගෙන බ්ලොගී කරපු වැඩේ ඕක තමයි. ගැස්සෙන නිසා සමහර පොටෝ ටිකක් බොඳවෙලා වගේ ඇති. ඔන්න දැන් තව ටිකයි. කිලෝමීටර් 1.5යි. එතනත් ඉතිං තේ ලාංඡනේ තමා.

ඔය කිලෝමීටර් එකහමාරක කෑල්ලෙ කිසිම තැන්නක් නෑ. එක දිගට ම කන්ද. ඒ මදිවට වංගු. ඒ නිසා වෙලාවකට වම් පැත්තෙන් තද බෑවුම. අනිත් වෙලාවට දකුණු පැත්තෙන් තද බෑවුම. පරිස්සමට යන්නත් ඕන. පාරෙන් පැන්නොත් එහෙම තාමත් පෙරලෙනවා පහලට . ඔය වංගු සහිත කන්දේ යන එක හරිම අමාරු වැඩක්. පාරත් හදනවා. ගල්, පස්, කාණු හැම තැනම. වැස්ස නැති නිසා ලිස්සන්නේ නම් නෑ. ඒත් ගැස්සෙන එක තමයි අමාරු. අනික හාලි එච්චර උසත් නෑනේ. පොඩ්ඩ ඇත්තං යට වදින්න බලනවා. ඒ නිසා අපි ටිකක් මහන්සි ඇර ඇර තමයි ගියේ. ඔය අතරෙදි අපිට වත්තේ එස්.ඩී. මහත්තැන්වත් හම්බ වුනා. ඒ කියන්නේ වත්තේ දෙවැනියා. මැනේජර් ගාවට ඉන්න කෙනා. වත්තේ එස්.ඩී. කියන්නේ ඉංගිරිස් නමක් නෙමෙයි. ඉංගිරිසියෙන් කිව්වට දෙමළ නමක්ලු. “සින්න දොරේ” කියන එක තමයි ඔය එස්.ඩී. එතකොට මැනේජර් ඇවිල්ලා පෙරිය දොරේ. ඒවුනාට එයාට ඇබ්රිවේෂන්ස් නෑ ;)

මෙන්න අපි පොඩ්ඩකට නැවතිච්ච තැන.
කැමරාව ටයිමිං කරලා බයික් එක උඩ තියලා පොටෝ එකකුත් ගැහැව්වා. පේනවනේ මීදුම. අපිට පිටිපස්සේ ප්‍රපාතේ මොනා තියෙනවද කියලා වත්තේ මිනිස්සුයි දෙයියොයි තමයි දන්නේ. නැතුව බලන්න හැකියාවක් නෑ. ඒතරමට මීදුම. ගස්වල මුදුන් විතරයි පේන්නේ.


ඇති ඇති. මග වැඩිපුර විවේක ගත්තොත් හොඳම හරියේ ඉන්න තියෙන වෙලාව අඩු වෙනවා.
විනාඩි කිහිපයක් ගියා. ෆස්ට් එකේම උඩට ඇද්දා. ආයේ නැවැත්තුවේ නෑ.

දෙවියනි මෙවන් අරුමයක්. අපි ඉන්නේ දිව්‍යලෝකේද කියලා හිතුනා. වලාකුළු පාවෙන්නේ අපිට පහලින්. උස පයිනස් ගස් වල මුදුන් තියෙන්නේ අපිට පහලින්. ඉඳලා හිටලා කුරුල්ලෙක් දෙන්නෙක් අපිට උඩින් ගියාට අනිත් හැමදේම අපිට පහලින්. මීදුම් සළුව අපි වටේම එතිලා. සීතල, ඒකටම නොදෙවෙනි හුලඟ, වැස්සක් නැතත් ඇඟට දැනෙන සිසිල, සැහැල්ලු බව, පාවෙනවා වගේ දැනෙන එක, හැම ප්‍රෂ්නයක්ම අමතක වෙලා, කොටින්නම අපිට අපි කවුද කියලාත් අමතක වෙලා, පීඩනය අඩු නිදහස් වාත තටුටුව මැද්දෙන් ලොකු හුස්මක් ගන්න ගමන් තක්බීර්වෙලා වට පිට බල බල ඉන්න සිද්ද වෙන හැටි... දිව්‍යලෝකයක්ම තමයි මේක. මීට වඩා සිංහල මම ඉගෙන ගෙන නෑ මේ ගැන ඔබට පැහැදිලි කරන්න. මේක විඳින්නම ඕන අත්දැකීමක්. තේරුං කරන්න ගිහිල්ලා සුන්දරත්වේ හෑල්ලු කරන්න මට බෑ.

සුද්දගේ තේරීම හරි. මේ තමයි නියමම තැන. ලිප්ටන් මහත්තයාගේ තේරීම උපරිමයි. මේ තමයි ලිප්ටන් සීට්.

මොනා පෙන්නන්නද? කිසි දෙයක් හරියට පේන්නේ නෑ. මීදුම...


පේන දේකට කියල තියෙන්නේ බෝඩ් ලෑල්ල විතරයි. එතනින් එහා මීදුම කොයි වෙලේ හරි අයින් වෙනකල් ඉන්න වෙනවා ඔයාලට මෙතන සුන්දරත්වය පෙන්නන්න. නැත්තං ආපු එකෙනුත් පලක් නෑ.

ටික ටික ඒ හරියේ මීදුම අඩු වෙන්න වුනා. එතකොට තමයි අපි දැක්කේ ටිකට් කඩන මනුස්සයෙක් එතන ඉන්න බව. රුපියල් 50ක් දුන්නට පාඩු නෑ. ලෝකේ කොහේද රුපියල් පනහනකට මෙච්චර සුන්දරත්වයක් අත්විඳින්න දෙන්නේ. මම ටිකට් එක ගන්න අතරේ අංකල් එකක් පොඩි චැට් එකකුත් දැම්මා. බ්ලොගී ඒ අතරේ පොටෝ දෙක තුනක් ගැහුවා.


ඒ අංකල් අපිට වට පිටාවේ පේන දේවල් ගැනත් ගොඩක් දේ කියලා දුන්නා. දොලහට ඩියුටි ඕෆ් වෙන නිසා මනුස්සයා යන්න ගියාට මම උපරිම ප්‍රයෝජන අරගෙන හැම දේම අහගත්තා.

මෙතනට ලංකාවේ නොපෙනෙන කෙලවරක් නෑ. එක පැත්තකින් බදුල්ල බණ්ඩාරවෙල දියතලාව පැත්ත. ඊට එහායින් පස්සර යි නමුණුකුළ කඳු පන්තියයි. තවත් පැත්තකින් නුවරඑළිය, කොටින්ම කියනවා නම් නුවරඑළිය ටවුන් එක, රේස් කෝස් එක පවා පේනවා. අනිත් පැත්තෙන් වැල්ලවාය තණමල්විල ඇඹිලිපිටිය හරහා හම්බන්තොටට යනකම්ම පේනවා. චන්ද්‍රිකා වැව ගජරාමෙට පේනවා. උඩවලව අභය භූමිය තියෙන හරිය, එතනින් එහා ඈත කෙලවරේ ක්ෂිතිජය වෙනකං පේනවා. හම්බන්තොටින් එහා මුහුදත් පේනවා ඇති. ඒත් පැහැදිලි නෑ. ඇයි තව පැත්තකින් ලංතාවේ උසම කන්ද පිදුරුතලාගල, ශ්‍රීපාදය (සමනල කන්ද) මේ හැමදේම පේනවා. කඳු නිසා ඒ මායිමෙන් එහා නොපෙනෙන හන්දා මිසක මෙතනට නොපෙනෙන ඉමක් නෑ. ඒකයි මෙතනට පිල්කිංටන් පොයින්ට් එකක් කියන්නේ. එහෙම නැත්නම් විව් පොයින්ට් එකක් කියලත් කියනවා. එච්චරකට බලන්න දේවල් මෙතන තියනවා. ලංකාවේ සංචාරකයෝ එනවා අඩුයි මෙතනට. වැඩි හරියක් පිටරැටියෝ ඇවිත් මේ සුන්දරත්වය විඳගෙන යනවා.

මේ දැනුත් එක්කෙනෙක් ආවා. මගේ වයසේ වගේ සුද්දා බෝයි කෙනෙක්. තව අපේ උන් දෙන්නෙක් තමයි ගයිඩ් කරලා තියෙන්නේ. කොල්ලගේ කකුල් දෙකම අප්සට්. ඇවිදින්නෙත් හරිම අමුතුවට. ඩිෆරන්ට්ලි ඒබල්ඩ් පොරක්. මම කරේ මෙතනට ආපු  ගමන් මේ ලස්සන දැක්කගමන් හතර අතේ පොටෝ ගහපු එක. ඒත් ඒකොල්ලා කරේ අයිනේ කණුවක වාඩිවෙලා පොතක් කියවන්න ගත්ත එක :) සුද්දෝ ගන්නේ මාර ආතල්. අම්මපා අපිට එහෙම දෙයක් කරන්න හිතුනේ නෑනේ. පොර පොත කියවද්දී මායි බ්ලොගීයි පොර දිහා බලන් හිටියා. විනාඩි 15යි. පොර යන්න ගියා.

මෙන්න ටිකක් මීදුම අඩු වුනාම ලිප්ටන් සීට් එක පේන හැටි, ඊටත් ටිකක් උස අට්ටාලයක ඉඳලා. මේ අට්ටාලය ගැන පස්සේ කියන්නම්. ඉස්සෙල්ලා පිංතූර ටික බලලාම ඉමු.


ඔය සුදුපාට බැම්මකින් වට කරලා තියෙන හරිය තමයි ලිප්ටන් සීට් කියන්නේ. හොඳට බැලුවෙත් පළවැනි පිංතූරේ ටිකට් කඩපු අංකලුයි තව ත් කෙනෙකුයි ඉන්නවා පේනවා නේද? වම් පැත්තෙන් පහල තනිකර පාතාලේ. ඒ තියන්නේත් තේ වතු. දකුණු පැත්තේ එක දිගට තේ යාය. හැබැයි එච්චර පාතාලයක් නෑ. ඊට අමතරම මේක නියම හුලං කපොල්ලක්. සරුංගලයක් වුනත් යවතෑකි හම්බංතොට දිහාට. තව පිංතූර ගන්න දැම්ම විදිහක් නෑ. ඒ නිසා මීදුම අඩුවෙනකං මං මෙතන ඉතිහාසේ කෙටියෙන් කියන්නංකෝ. කට්ටිය එහෙනං හරිබරි ගැහිලා වාඩි වෙන්නකෝ ඔය කැරකෙන පුටුවේ ;)

මෙතන හරියටම කියනවා නම් මුහුදුමට්ටමේ ඉඳලා මීටර් එක්දාස් නමසිය හැත්තෑවක් (1970m) උසයි. ඒකයි මෙතනට අර කලින් කියපු හැමදේම බොහෝම ලස්සනට පේන්නේ. ඉතිහාසේ ගොඩනැගෙන්නේ මෙන්න මේ විදිහට. ස්කොට්ලන්ත ඉංග්‍රීසි ජාතික තෝමස් ජේ. ලිප්ටන් (Sir Thomas J. Lipton) කියන සුදු ජාතිකයා ඉතිහාසගත සංචාරයක් තේ ඉතිහාසපොතේ ලකුණු කරමින් ලංකාවට ආවේ තේ බිස්නස් එකට අතගහන්න. දන්නවනේ ඉතිං සුද්දෝමනේ මේවැයේ මුල් නිර්මාතෘවරු. එතුමා ඕස්ට්‍රේලියාව හරහා ලංකාවට ආවේ එක්දාස් අටසිය අනූවේ (1890). ඒ කියන්නේ වයස අවුරුදු හතලිහේදී. ඒ ආවට පස්සේ ඌව පලාත පැතතට යන්න තමයි එතුමට ඕන වුනේ. එතුමා ඌවට ආවෙත් මුළු ලෝකෙම දන්න ලස්සනම සුන්දරතම පාරක. ඒ තමයි නොයේක් ආකාරයේ දේශගුණික කලාප කිහිපයක්ම පසුකරමින් බදුල්ල වෙනකං දුවන උඩරට දුම්රිය මාර්ගය. උඩරට කෝච්චි පාර කොච්චර ලස්සනද කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඒ ගැන අපි වෙනම චාරිකාවකින් කියන්නං දවසක.

කොච්චියෙන් ඌවට ආපු ලිප්ටන් මහත්තයා ඌවේ ස්වභාවසෞන්දර්යය දැකලා පරිසරයට වශී වුනා. ඌවේ ලස්සන බලන්න නම් බස් එකේ ඇවිත් වැඩක් නෑ. කෝච්චියේම එන්න ඕන. ඒකත් තැන තැන බැහැ බැහැ එන්න තියෙනවා නම් අගෙයි. ඉතිං මේ ලස්සන බල බල ආපු ගමනෙදි මේ ලස්සන කඳු පංති, මීදුම ගලපු කඳු මුදුන් එතුමට මේ කඳු යාය තමන්ගේ කරගන්න අනුබල දුන්නා. ඒ අනුව එතුමා එක පයින්ම දඹේතැන්න තමන්ගේ කරගත්තා. මිලදී ගත්තා. වැඩ පටන් ගත්තා. වත්තේ ඉතිහාසේ සඳහන් වෙන විදිහට දඹේතැන්න තේ ෆැක්ටරියේ කුළුදුල්ම තේ දල්ල ඇඹරලා තියෙන්නේති ලිප්ටන් මහත්තයා යටතේ.  සෙල්ලං නෑ, මේ ෆැක්ටේරිය තියෙන්නෙත් මුහුදු මට්ටමෙන් මීටර් එක්දාස් පන්සිය හැ‍ට හයක් උසින් :-0  අනිත් කාරනේ මේ ෆැක්ටේරිය තමයි ලෝකෙම ප්‍රසිද්ධ “උසස්ම තත්ත්වයේ ඌවේ පුංච් තේ කොලේ කළු තේ” (Uva high grown small leaf black tea of high quality) නිෂ්පාදකයා හැටියට. ලිප්ටන් මහත්තයා දස්සයා. එතුමගේ ගේම් එක තමයි මේතරං හොඳට නැගලා ගියේ. බලන්නකෝ එයාගේ පිංතූරයක්.


 කොහොමද? හැන්ඩියා නේද? නියම වැඩකාරයා. මුලු ලෝකෙම මෙතුමා‍ව ආමන්ත්‍රණයකරේ සර් ටී (Sir Tea) කියලා.

එතකොට මෙතන කොහොමද ලිප්ටන් සීට් වුනේ? මතකයිනේ මෙතන මුහුදු මට්ටමේ ඉඳන් මීටර් එක්දාස් නමසිය හැත්තෑවක් උසයි. අනික වතුයායේ හරි මැද වගේ. අනිත් ඔක්කොම මීට පහලින් තිබ්බේ. කන්දේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තේ ෆැක්ටරියට තේ දළු ගෙනියන එක සෙල්ලං වැඩක් නෙමෙයි. අද තරං හොඳ පාරවල් නෑ. දළු ටැක්ටර් නෑ. කන්දේ එක පැත්තක පල්ලමේ ඉඳන් උඩට ඇදපු කේබල් (කම්බි) වලින් තමයි දළු ගෝනි උ‍ ඩට ගෙනාවේ. ඊට පස්සේ ඒ වාගේම කම්බියකින් කන්දේ අනිත් පැත්තේ උසින් මීටර් හාරසීයක් විතර පල්ලමේ තියෙන ෆැක්ටරියට දළු ගෝනි ගෙනිච්චා. බලන්න කොච්චර සාර්ථක ක්‍රමයක්ද? ඒ මදිවට මෙතනට වතුයායේ හැම කොනක්ම හරියටම පේන නිසා වත්තේ පුරාජේරුව එක තැනකට වෙලා නරඹන්න අයිතිකාරයාට පුළුවන් වුනා. ලිප්ටන් මහත්තයත් ඔය වැඩේට පුරුදුවෙලා හිටියා. ඒ නිසයි මෙතනට ලිප්ටන් සීට් කියලා කියන්නේ. අපේ ලාංකිකයෝ වැඩිය නොදන්නවා වුනාට මෙතන ලොකප්‍රසිද්ධ විව් පොයින්ට් එකක්. දැනට මේ වතුයායේ වසරකට උසස්ම තත්ත්වයේ කළු තේ කිලෝ මිලියන 1.3 ක් පමණ නිපදවනවා. “බණ්ඩාරඑළිය” කියන වෙළඳ ලකුන යටතේ තමයි ඒක මාකට් කරන්නේ. අපි නොදන්නවා වුනාට එක්ස්පෝට් මාකට් එකේ මාර ඩිමාන්ඩ්. ආ... අනිත් එක. දැනට මේ වතු යාය කරන්නේ ලංකෙම් ලගේ තේ සහ රබර් වැවිලි සමාගම මගින්. (Lankem Tea and Rubber Plantations Ltd). ඔන්න ඕකයි ඉතිහාසය. හප්පේ මටත් සෑහෙන්න මහන්සියි. (තොරතුරු අර අංකල්ගෙන් සහ අහලපහල තිබ්බ දැන්වීම් වලින් සහ මං දැනං හිටපු දේවල් වලින්)

පෝස්ට් එකත් සෑහෙන්න දිගයි. අනේ මන්දා කියන්න ගියාම ඔක්කෝම කියන්නත් ඕන. කොහොම හරි අපේ කට්ටියව කවදාහරි මේවා බලන්න ගෙන්න ගන්න එපැයි. ;)

හරි... මීදුම ටිකක් අඩුයි... අපි යමු ටිකක් අට්ටාලේ පැත්තට. අට්ටාලේ? ඒ මොකද්ද?

ආ... එක තමයි නැරඹුම් මැදිරිය. හැමදේම හරිම ලස්සනට පේනවා...




ඔය පළවැනි පිංතූරේ තියෙන්නේ මං කිව්ව අට්ටාලය. ඒක තට්ටු දෙකයි. යට කොටසේ බංකු දෙකක් තියෙනවා. උඩ නං මුකුත් නැති එකම තමා හොඳ. ඒ අට්ටාලෙට ටිකක් පහලින් පොඩි මඩුවක් තියෙනවා වැස්සක් හෙම ආවොත් ගොඩ වෙන්න. එහෙනං නගිමු අට්ටාලෙට. නැග්ගා වගේ නෙමෙයි. ඕකෙන් බ්ලොගියව බස්සගන්න තිබ්බ අමාරුව ;)

මේ අට්ටාලේ උඩ... මාර හුලඟක් තියෙන්නේ. මේක හුලං කපොල්ලක්නේ...


ඒ බ්ලොගීනේ... මේ මම සහ අපි ;)



මෙතනට පේන දර්ශන ටික වචනයෙන් විස්තර කරන්න මට තේරෙන්නේ නෑ. ඒ තරම්ම ලස්සනයි. ඉස්තරම්. හැබැයි අපිට විනාඩි 45ක් විතර බලන් ඉන්න වුනා මීදුම අයින් වෙනකං. මීදුම එක්ක ගහපු පොටෝ දාලා වැඩක් නෑ. අපිව විතරයි පේන්නේ. පරිසරය සුදුපාට විතරයි. ඒනිසා මීදුම අයින් වෙනකං අපි ගෙනාපු කෑම වලින් සප්පායම් වුනා. මහ ලොකු දෙයක් නෑ. ඔය නිකං, ක්‍රීම් බනිස් ජෝඩුවයි, එග් බන් දෙකයි, සීනිසම්බල් බන් දෙකයි, රෝල් දෙකයි, සේවරි නට්ස් පැකට් එකයි, ඇපල් සෝඩා එකයි, වතුර එකයි විතරමයි :-0 ඔය වතුර එකත් අපේ මේ පලාතෙම හදන එකක්... ඕසෝන්... ආ... බ්ලොගී කියන්නම කිව්වා ඔය දකුණුපැත්තේ තියෙන සපතුතු දෙක ඔරිජිනල් කැන්වස් කියලා ;)


කෑම සුවඳටද මන්දා කොහේදෝ ඉඳන් ආපු කාක්කෙක් අපිට තර්ජනයක් වුනේ මේ වෙලාවෙදි. මූ යන්නෙම නෑ එලෙව්වට. පස්සේ අපි උගේත් පොටෝ කෑල්ලක් ගත්තා.

කාක්කා සහ ඇපල් සෝඩා නම් ඡායාරූපය තමයි මේක.


පොටෝ එක බ්ලොග් එකේ දායි කියලා දැන ගෙනද කොහේද ඌ එසැනින් යන්න ගියා.

ආ... දැන් නම් ටිකක් පැහැදිලියි... මෙන්න මේ අට්ටාලයට පේන දර්ශන...

මේ නායබැද්ද කන්දේ එක් කෙලවරක්. තනි ටවර් එකක්...


මේ එහිම අනික් කෙලවර. එතන ටවර් කිහිපයක්ම තියෙනවා...


ලාවට මීදුමත් ගලලා තියෙනවා. ඒත් පහල තේ යාය සෑහෙන්න ලස්සනට පේනවා...


හොඳට බැලුවොත් පෙනේවී. ලා නිල් පාටට පේන්නේ චන්ද්‍රිකා වැව.


අයිනට යන එක මට නං නිකං බයයි වගේ... ඒත් බ්ලොගියට එහෙම නෑ...


දැන් එක පැත්තක් සෑහෙන්න හොඳයි පැහැදිලියි.


හැබැයි එහේ බලලා මෙහේ බලන කො‍ට ආයෙම මීදුම එන්න පටන් අරන්

 මෙතනට වෙලා ටිකක් බලං හිටියනං ලංකාවේ කාළගුණ වාර්ථාව දෙන්න පුළුවන් තිතටම. කොහේටද වහින්නේ, කොහේටද පායන්නේ කියලා. මේ දැං අප් ඩේ‍ට් එකක් දුන්නොත්, මේ වෙලාව බණ්‍ඩාරවෙලින් එහා බදුල්ලට හොඳටෝම වහිනවා. ඒ වගේම හම්බන්තොටට පැලෙන්න පායනවා. නුවරඑළිය පැත්තට වැසේසේ නැතත් අහස වලාකුලින් බරයි. රාත්‍රී කාලයේ මඳ වැසි බලා පොරොත්තු විය හැකියි ;)

බලන් ඉන්දෙද්දී මීදුමෙන් පරිසරය වැහෙන හැටි හරි අපූරුයි. වට පිටාවේ පැනොරාමික් විව් එකකට අපේ සෙට් එක ආස වෙයි කියලා හිතලා පොඩි වීඩියෝ කෑල්ලකුත් ගත්ත. බලන්නකෝ රහද කියලා. හුළඟ වැඩි නිසා ඕඩියෝ ටිකක් නොයිස් වගේ ඇති. අනික ඉක්මනට බෆර් වෙන්න ඕන නිසා වීඩියෝ කොලිටි ඩ්‍රොප් කරලා බර අඩු කරා.



කතාවෙන් කතාව වෙලාවත් ගියා. දැන් ඉතින් පල්ලං බහිමු. පිටරත්මලේටයි, රිච්මන්ඩ් වැව ගාවට යන්නත් එපැයි. බ්ලොගීව මෙතනින් බස්ස ගන්න එකතමයි අමාරු.

අපිට අට්ටාලෙන් බැස්සා. බයික් එකේ ෆොටෝ වගයක් ගත්තා මීදුම එන්න කලිං. මෙන්න ආපහු එකපාරම එයා අපිව වහ ගත්තා. දැන්නං මෙතනිනුත් බ්ලොගීව ගන්න එක බොරු.


කලිං පෝස්ට් එක බලපු අයට මතකයි නේද මේ පිංතූරේ. ඔය මීදුම බාලා තියෙන ඉසව්වට, ඒ කියන්නේ පිටරත්මලේ පැත්තට තමයි දැන් අපි යන්න ඕන. හාලිව පෙන්නුවේ නැත්තම් එයාගෙ හිතටත් හරි නෑනේ . මෙච්චර උසකට අපි දෙන්නෙක්ව ගෙනාවනේ වාතයක් වෙන්නේ නැතුව.



ටික ටික පල්ලං බහිද්දී අපි දඹේතැන්න ෆැක්ටරිය ලඟට කිට්ටුවෙනවා. අර හොඳම කළු තේ හදන තැන. මෙන්න ලස්සන කියමනක් තිබ්බා. අපිට මේකට නිකම්ම කේ වත්තක් (එස්ටේට්) කිව්ව‍ට මෙයාලා මේකට කියන්නේ ගාර්ඩ්න් එකක් කියලා. බලන්න කොච්චර ලස්සනද ඒ වචනේ. මල් වත්තක් වගේ නේ මැවෙන්නේ. හැබැයි ඊටත් වඩා ලස්සනයි.


මෙන්න ලිප්ටන් මහත්තයාගේ ‍ෆැක්ටරිය.


හරි වැදගත් දෙයක් අපි මේ තේ වතු පුරාවටම දැක්කා. ඒත් දැනුයි මට ඒක දාන්න මතක් වුනේ. මේ බලන්න.


ඩිවිශන් ආපහු ෆීල්ඩ් වලට බෙදනවා. ඒ ඒ ෆීල්ඩ් එකේ ස්ටැටිස්ටික්ස් වෙන ‍වෙනම නෝටිස් කරලා තියෙනවා. විශාලත්වය, කාබන් අගය, අන්තිමට කප්පාදු කරපු කාලේ වගේ වැදගත් විස්තර. පොත් වල ලියලා තියා ගන්නවට වඩා මේක කොච්චර ලෙසිද?

ඔන්න අපි බොහෝම වේගෙන් පල්ලම් බැස්සා. පිටරත්මලේ ටත් ආවා. පිටරත්මලේ සෑහෙන්න කියෙනවා නමක් ගමක් නැති පුංචි පුංචි දිය ඇලි ගොඩක්. මේක එක විදිහක නිම්නයක්. බයික් එකේ නොයා පයින් මේ නිම්නයේ හරි මැද්දෙන් පහලට බැස්සොත් තව පුංචි දියඇලි ගොඩක් හම්බ වෙන බව මම අහලා තියෙනවා. මෙන්න පාර අයිනෙම තියෙන දිය කඩිති එකක් දෙකක්.


පිටරත්මලේ කියන්නේ එකම නිම්නයක්. ලිප්ටන් සීට් එකෙන් කෙලින්ම පහල ප්‍රපාතය. මතකයිනේ දැන් කිව්වා. මෙන්න ඒ වග උදාහණ සහිතව ඔප්පුකරා. බලන්න කොච්චර ලස්සනට මීදුම යට ඉඳන් උඩට ගලාගෙන එනවද...




මෙන්න මට අවස්ථාවක් හම්බවුනා. මං මුලින්ම කියපු කතාවක් සාක්ෂි සහතව ඔප්පු කරන්න තව අවස්ථාවක්. මං කිව්වා නේද ‍මීදුම් තුරුල්ලේ ඉපදිච්ච මේ වතු මිනිස්සු මරිලා යන්නෙත් මීදුම් තුරුල්ලේමයි කියලා. ඒ නිසයි උන් මේ පරිසරයට මෙච්චර ආදරේ කියලා. මේ බලන්න. මැරිච්ච මිනිස්සුන්ගේ සොහොන්. මිනිස්සු මරුණට, උන් රැක ගත්ත ලස්සන පරිසරේ මැද්දේ මීදුම් තුරුල්ලේ මේ සොහොන් කොත් තව කාලයක් අපූරුවට ජීවත් වෙනවා. ඒ ඒවා අයිති මිනිස්සු වෙනුවෙන්. මේ එකට එක පුංචි උදාහරණයක් විතරයි.


අපි ටිකෙන් ටික රිච්මන්ඩ් වැව ලඟටත් ආවා. සාපේක්ෂව මිනිස්සු ගහනය කන්ද උඩට වඩා ටිකක් වැඩි නිසාද දන්නේ නෑ වැව ටිකක් බොරපාට වෙලා වාගේ තිබ්බා. සමහර විට වැස්සට කඳු සෝදගෙන ඇවිත් වැටෙන්නේ වැවට නිසා වෙන්න ඇති. ඊයේ පෙරේද ටිකක් වැස්සත්නෙ. වැවේ පිංතූර ‍කිහිපයකුත් කැමරාව අස්සෙදී සීරෝස් ඇන්ඩ් වන්ස් වුනා. වැවේ විස්තරනම් වැඩිය දන්නේ නෑ. හැබැයි හදලා තියෙන්නේ 1885 බව දකින්න ලැබුණා. අපි පුරුද්දට වගේ හැමදාම බනින ‍සුද්දෙක් කරපු හොඳ වැඩක් වෙන්න ඇති මේ වැවත්.



හපොයි සෑහෙන්න වෙලාවක් ගත්තා. ඒත් වෙලාව යනවා අපිට දැනුනේ නෑ. පරිසරේ ලස්සන සුන්දරත්වය වෙලාව ගැන අපිට හිතන්න ඉඩදුන්නේ නෑ. ඒත අපි දැන් බණ්ඩාරවෙලින් කන්දේ මුදුනටම නැගලා ආපහු හපුතලේට පල්ලං බැහැලත් ඉවරයි.  කැමා ටිකක් සූම් කරාම අපි හිටපු උසම ඉසව්ව ලාවට අපැහැදිලිව පේනවා.

අපි දැං ඉන්න තැනත් මීදුම නිසා උඩ ඉඳං බලනකොට නොපෙනිච්ච එක පැත්තක් තමයි.

එහෙනං දෙසක් රියේ දෙවැනි චාරිකාවත් අහවරයි කියන්නයි ලෑස්තිය. කට්ටිය මොකද කියන්නේ? සෙට්වෙන්න නිවාඩුවක් දාලා හරි මේ පැත්තේ එමුද? ආ... තව එකක්.... දැනටම තව කට්ටියක් තුන් වැනි චාරිකාව‍ට එයාලත් සහභාගී වෙනවා කියලා අනතුරු අඟවලා තියෙන්නේ ;) . නං ගං පසුවට...  ඊලඟට යන්න දිහාවකුත් දැන්ම ප්ලෑන් කරන්න ඕන. හොඳ ඇඩ්වෙන්චර් ටුවර් එකක් නං වටිනවා... බලමු බලමු...

අන්තිමට එකක් කියන්න තියෙනවා පුරුදු විදිහටම. ඔයාලත් එන්න. යාළුවොන්ටත් මේවා බලන්න එන්න කියන්න. හැබැයි ලස්සන පරිසරය විතරක් මේ විදිහටම බේරලා තියලා යන්න කියන්න. බිංදුවක්වත් කිලුටු කරන්නේ නැතිව. ඒක තමයි මේ පරිසරයෙන්ම අපිට දෙන ඔවදන...


එහෙනං ළමයි අදට එපමණයි. මතු සම්බන්දයි. බ්ලොගියි මායි අපේ හාලිගේ පිටේ නැගිලා පැයට සැතපුම් 50කවත් වේගෙන් කොළඹ හයිවේ එකේ හපුතලේ සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වෙන්නයි යන්නේ...

ආයුබෝං කිව්වා....

ග්ර්ර්ර්රම්  ග්ර්ර්ර්රම් ග්ර්ර්ර්රම් හම්ම්ම්ම්ම් හම්ම්ම්ම්ම් ග්ර්ම් හම්ම්ම්ම්ම් ග්ර්ම් හම්........

(ස්ක්‍රිප්ට් එක මගෙන්, ඡායාරූප බ්ලොගීගෙන් සහ මගෙන්)

51 comments:

  1. කාක්කා සහ ඇපල් සෝඩා පොටෝ එක මරු..

    ReplyDelete
  2. මාරයි මචං... එක හුස්මට කියවගෙන බලාගෙන ගියා.. ආයෙත් සැරයක් හිමීට බලන්ට කලින් තමයි කමෙන්ට් එක දාන්නේ.. පප්..පප්.. පට්ට මචං...

    ReplyDelete
  3. මෙන්න බොලේ වැඩක්... මම කියවලා ඉවර වුනෙත් දැන්... ඒ ඩිංලට සෙට් එක මේ පැත්තට ඇවිල්ලා.

    වැම්පයර්-- ඔව් බං. කනාවට වැදිච්ච මරු ෂොට් එකක්.

    පුතා-- පුතාලා තාත්තලාට මචං කියනවද බං ;) ලොල්.
    හරි හරි එළ එළ පුතේ. හෙමීට නිදහසේ කියවන්න. එතකොට අගේ වැඩියි. වෙල්කම් කිව්වා...

    ReplyDelete
  4. මාර ස්ටෝරිය, බලන්න යන්නම හිතෙනව, හරිම ලස්සනයි,

    මචං මෙතනට බදුල්ලෙ ඉදල යන්න කොච්චර වෙලා යනවද. බයික් එකක විතරද යන්න පුලුවන්, කොහොමද පාර , කාර් එකක වගේ යන්න පුලුවන්ද

    ReplyDelete
  5. හරිම ලස්සනයි!!...

    ReplyDelete
  6. අපූරුයි... පරණ ෆිල්ම් එකක තියෙන ලව් ඉස්ටෝරියක වගේ.. :D

    ReplyDelete
  7. අඩේ මාර ට්‍රිප් එකක්නේ.....
    ඒ වගේම නියමෙට ලියලා තියනවා...

    බෙරගලින් වැල්ලවායට යන පාරේ අපි යන පොට් එකක් තියනවා.එතනට ඔය වගේ තැනක් පේනවා.මම හිතන්නේ මෙතනම තමා ඒ....දුරබලන කණ්ණාඩියකින් බලනකොට ඔය වගේ හට් එකක් පේනවා එතෙන්ට...

    ආ මෙතන නේද තැන...
    http://bit.ly/cKTaEY

    ReplyDelete
  8. ෆිල්ම් හෝල් එහෙක බොක්ස් කෑල්ල ඇතුලේ සෙක්ස් හොයන ජෝඩු වලට මැරෙන්න හිතෙයි මේක දැක්කම. මට එහෙම මැරෙන්න හිතෙන්නේ නැති එක ගැන මම ආඩම්බරයි!

    ගමනට වඩා තේ වත්ත මාරයි.තේ වත්තට වඩා ලිප්ටන් මාරයි.ලිප්ටන් ටත් වඩා උඹලා දෙන්නා මාරයි ලොකු අයියා!

    ReplyDelete
  9. යන්න ආයි ආස හිතෙන විදිහට ලියලා තියෙනවා.. මරු මරු අපිත් එනවා වෙලාවක උඹලාව බලලා ලිප්ටන්වත් බලලා ආතල් කට්ටක් දාලා යන්න..

    ReplyDelete
  10. පිස්සු හැදිලා ආයෙත් හැදෙනව මේ ලස්සන දැක්කම !

    ReplyDelete
  11. එල...එල...මචන් උබ ලියපු විදියට අපිත් උබත් එක්ක ගියා වගේ දැනුනා.නියමයි කට්ටියක් සෙට්වෙලා යන්න තියෙනවනම්.

    ReplyDelete
  12. ඔන්න මෙදා සැරේ පොටෝ ටික නං පට්ට ඈ!
    සිරා චාරිකාව. මමත් හරි ආසයි ඔය මීදුම අස්සේ ඇවිදින්න. ඒත් ඉතිං මේ මූදුකරේ ඉන්න අපිට මොන මීදුමද, කුණුගොඩක් පිච්චුවාම එන දුම මිසක්! :P

    ReplyDelete
  13. අම්මෝ ඇති යන්තම් දෙන්නා ලිප්ටන් සීට් ගියා. මරු මචෝ. ඊළඟ චාරිකාව කොයි ඉසව්වෙද? තිත්ත ඇත්ත නම් සුද්දගේ වැඩ බලන්න ලස්සනයි. ඒවගේම අපූරුයි. නීට්...ඇල්ල පැත්තෙත් යමු නේද ඩබලම.අර සුදු ඇන්ටිගේ අරුම පුදුම නවාතැන් පොළ පැත්තේ එහෙම.

    ReplyDelete
  14. ඉරිසියාවේ පුපුර පුපුර මේක කියෙව්වා. පට්ට ආතල් බන් අපේ සෙට් එකටත් යොජනාවක් දාලා බලන්න ඕනේ ඔය පැත්තේ එන්න. කොහෙද ඉතින් අපිට ඕකට එන්න ටිකක් දුර එන්න එපායෑ.

    උඹ ඇපල් සෝඩා ඇඩ් එකකුත් දැම්ම එහෙනම් ඈ

    මචන් බැරිද මොකුත් සැර ජාතියක් ගෙනත් හීනියට පානය කරන්න ඔතන ඉඳලා :-D

    ReplyDelete
  15. BEAUTIFUL SRI LANKA-- මොකෝ බැරි. පුළුවන් පුළුවන්. හැබැයි ටිකක් ගැස්සි ගැසිසි තමයි යන්න වෙන්නේ...

    හේමලයා-- ටැංකිවු වේවා...

    ශාකු-- කෝ ඉතිං මේ පැත්තේ එන එකක්යැ. නැත්තං ෆිල්ම් එකේ පාට් එකක් දෙන්න තිබ්බා ඇක්ට් කරන්න.

    චමීදේවා-- ඔයාලා යන්නේ මකල්දෙනියට වෙන්න ඕ. එතනට මේ ප්ලේස් එක පේනවත් ඇති. පාරෙන් දුර වුනා‍ට අක්ශාංශ දේශාංශ වලින් එච්චර දුර නෑ. මැප් එකේ හැටියට ඒක තමා තැන. ආයේ ආවොත් බොරගලින් හැරෙන්න බෑ ඕං :)

    මුචලිංද-- ආ... මලේ... කමන්ට් දැම්මට මදී. මොකද කියන්නේ සෙට් වෙනු පිණිස මේ පැත්තේ එමුද කට්ටියම දවසක?

    ආගන්තුකයා-- ඔය ඉතිං කියනවා විතරනේ. එන්නේ නෑ නේ... එකපාරක් හරි ආවනම් ඊට පස්සේ ආගන්තුකයෙක් වෙන්නේ නෑනේ :)

    ජීවිතේමල්-- පළවෙනි පාර වෙන්න ඕන මේ... ටැංකියු වේවා...

    සසික නානායක්කාර-- ඒකනේ කියන්නේ මේ කට කැඩෙනකං... වරෙල්ලා වරෙල්ලා...

    ඉන්දරේ-- කෝ ඉතිං... අර මාමලගේ ගෙදර ආවමවත් එන්න එපැයි... ඊස්සෙල්ලා ඔය තොප්පිය දාගන්න වැඩේ අහවර කරන්නකෝ. පස්සේ බැරියැ ආතල් ගන්න... දැන් ළමයා ලියනවා අඩුයි වගේ නේ...

    ගයන්ත-- ටැංකියු වේවා...

    නදී-- කොහේද මෙච්චර ලඟ ඉඳලත් උඹලා සෙට් වෙන්නේ නෑනේ... කී පාරක් කිවුවද මකල්දෙනියේ යං කියලා... පුළුවන් නං ඊලඟ එකට සෙට් වියං බං. සුදු ඇන්ටිගේ තිප්පල මේ වෙන කො‍ට හොඳටම හදලා ඉවර ඇති මයේ හිතේ... අපිට යන්න නෙමෙයි උඹත් වරෙන්...

    ම-- ආයේ යෝජනා ඕන නෑ... ස්ථාවර නියෝගයක් ගෙනෙං අහවල් දවසේ අහවල් දිහා යනවා කියලා... ඒකරලා ඔය බුරුත්ත ඔක්කෝම අකුලගෙන වරෙල්ලා බං. දුර ප්‍රශ්ණයක් නෑ. හැබැයි හදිස්සියේ යන්න නං එන්න එපා. පොඩි ෆන් එකක් දාලා යන්නම වරෙන්.

    ඇපල් සෝඩා බ්ලොගියගේ තේරීමක්. ඇයි බං ලංකෙම් ඇඩ් එකකුත් දැම්මනේ.

    සැරජාති? උඹට එතනට ගියාම සැරජාති අමතක වෙයි. කොහෙමත් වෙරි හි‍‍ඳෙනවා ප්ලේස් එක දැක්කම. කට්ටි සෙට් වෙලා... බොංගෝ එකක් එහෙම ගෙනියලා... රෑ බෝ වෙනකොට ගිනි මැලයක් එහෙම ගහලා... ව‍ට වෙලා සිංදුවක් කියලා... අමතක වෙන්නැති පට්ට ආතල් එකක් ගන්න පුළුවන්.

    ReplyDelete
  16. ඉරිසයාත් හිතෙනවා මචං. අපිට ඔය තැන්වල යන්න විධ්යක් නෑනේ. මෙහෙ ඉඳන් ඔය පැත්තට එනකොටත් දවසින් තුන්කාලක් ඉවරයි. සෙටි වෙලා කොහේ හරි බයික් වලින් යනවනම් කලින් පෝස්ට් එකක් දාපං. අපි බ්ලොගර්ල සෙට්වෙලා බයික් වලින් ට්‍රිප්එකක් යමුද?. කොහොම හරි බයික් එක කරේ තියන් හරි එන්න බැරිය. මොකද කියන්නේ?.
    ඒක නෙවේ මරු ට්‍රිප් එක. ෆොටෝ ටිකත් උඹේ වචන වලින්ම කිව්වොත් පට්ට..වාහනේ නම් කියල වැඩක් නෑ. ඕකෙ එන්ජින් කැපෑසිට් එක කීයද? ගියර් කීයද?

    ReplyDelete
  17. ෂා.. නියම ට්‍රිප් එක. අපිවත් එක්ක ගියා වගෙ ලියලා තියෙනව. කොහොම උනත් හැබැහින් දකින්න ඕන තැනක්. මේ අවුරුද්දෙ බැරි උනොත් ලබන අවුරුද්දෙ හරි යන්න ඕනේ. ස්තූතියි තොරතුරු ටිකට.

    ReplyDelete
  18. ප්‍රියන්ත-- හා හා කාළය බාධකයක් කරගන්න එපා. නිදහස් වෙලා වක එන්න. සිරාවටම මටත් මාර ආසාවක් තියෙනවා හොඳ බයිසිකල් සවාරියක් යන්න. බ්ලොගර්ස්ලි ටිකක් ඉන්නවනම් සෙට්වෙමු.
    වැඩිය නෑ 150. ගියර්5යි. 35ක් පෙට්‍රල් කරනවා...

    කුමාර-- අනි අනි.. එන්නම ඕනා...

    ReplyDelete
  19. ඔන්න කට්ටිය සෙට්වෙලා යනවනම් මමත් අනිවා එනවා.

    ReplyDelete
  20. මේ කතාව අපි ඔය පැත්තේ ඉන්දෙදි ලියලා තිබ්බා නම් සෙට් වීමේ සෙට් එකත් එක්ක එන්න තිබ්බා. මම නම් කලින් පාරක මේ පැත්තේ ගිහින් තියෙනවා. (ඒත් මේ තරම් සොඳුරු විදියට වර්ණනා කරපු කෙනෙක් නැති නිසා ඒ තරම් ම වෙනසක් දැනුනේ නෑ. )කොහොමත් ඉතින් ලංකාවට ආවම මම පාරේ යන්නේ ඇස්, කට, කන් උඩ තියාගෙනනෙ..ඒක හින්දා අමුතුවෙන් හිතන්න ඕනේ උනෙත් නෑ ලස්සනයි කියලා.
    නියමෙට අගේ කරලානේ ලියලා තියෙන්නේ... අපේ හරේ මහත්තයාත් ඉන්න එකේ ඊගාව පාර නම් ලිප්ටන් සීට් යන්නම ඕනේ...

    ReplyDelete
  21. සසික-- එළ එළ...

    Il mondo di una povera pazza-- සාදරයෙන් පිලිගන්නවා මේ පැත්තට.
    ස්වභාවධර්මය විඳ විඳ තමා මේවයේ යන්න ඕන. ඒතකොටයි ආතල් වැඩි.
    අනිවාර්යයෙන්ම එන්න. සාදරයෙන් පිළිගන්නවා.
    මේ පැත්තේ ඉන්නේ කොයි හරේ මහත්තයද?

    ReplyDelete
  22. අපේ හරේෂ් ලොක්කා.මිනිහා දැන් එච්චර ලියන්නේ නෑ! හොයාගන්න අමාරු නෑ!

    http://whiledliving.blogspot.com/

    ReplyDelete
  23. කුෂාන් ඇස් වන්නිආරච්චි සහ එම මැතිනිය විසින් සෙට් වෙනු පිණිස සෙට් එකට බදුලු ආරාධනා කර කට වරද්දා ගන්නා ලදී අපේ හාදයෙකුද බදුල්ලේ වාසය කරන බැවින් ඌ මූලික කරගෙන දහ පහලොස් දෙනෙකු බදුල්ලට එකවර කඩා පාත්වීමේ අවදානමක් ඇති බව දැනුම් දෙමි..

    ReplyDelete
  24. මුචා-- ආ හරි හරි... අර H කියන්නේ එයා නේද? කොහේද ඉතිං අපි දන්නේ අන්වර්ථ නාමයෙන්නේ ;) මම දන්නවා. අපේ අරයගේ අරයා නේද?

    ආගන්තුකයා-- ඉඳුමු හිටුම් සමඟ කෑම බීමද නොමිලේ සැපයේ. :)බ්ලොගීත් මමත් අවදානම් වැඩවලට කොහොමත් කැමතිය. නැත්නම් ස්ටෑන්ඩ් බයි හුලං පොම්පයක් වත් නැතිව මේ ගමන් බයික් එකේ යන්නේ නැතිය. අවදානමට පෙර සූදානම යස නිසා දැන්තියාම හට්ටි මුට්ටි පැදුරු සූදානම් කරනු ලැබේ.
    බදුල්ලේ ඉන්න අනිත් හාදයාද දැකබලා ගැනීමට කල් මරමින්ද සිටි.

    ReplyDelete
  25. මේ අර ටිකට් විකුණපු මනුස්සයා දැක්කා නම් මේ පෝස්ට්‍ එක ආයේ පැත්ත පලාතේ එන්න දෙන්නේ නැහැ. ඒ මනුස්සයා යාන්තන් අල්ලගෙන නැගිටින කාලේ උපන් එකෙක් අංකල් කිව්වා කියලා දන්නවා නම් එහෙම................

    ඇත්තමයි මොකුත් කියන්නේ නැහැ. අපේ ගම් පළාත වෙලාත් ඔයාගේ පෝස්ට් වලින් දැක්කා මිසක මේ ලස්සන දැක ගන්න තාම යන්න බැරි වුන එක ගැන දුක් වෙනවා.

    ReplyDelete
  26. Randil-- හා හා... ඒ පළවෙනි පාරනේ. ඊට පස්සේ මම මැරිලා අවුරුදු ගානකට පස්සේ ආයේ ඉපදුනා ;) දැන් ගොඩක් පොඩියි...
    හෑබෑට ගම් පාළාත මෙහේද? මෙහේ කොහේද? ඒ කියන්නේ "made in ඌව" ලේබල් එක තියෙන සෑහෙන්න කට්ටිය බ්ලොගර්ස්ලා වෙලා ඉන්නවා...

    ReplyDelete
  27. බණ්ඩාරවෙල,ඇටම්පිටිය. ඒත් මුළු ඌව පළාතෙම නෑදැයෝ ඉන්නවා. බණ්ඩාරවෙල, බදුල්ල, පස්සර, හාලි ඇල, දෙමෝදර, වැලිමඩ, නුවර එළිය, බිබිලේ, මොණරාගල, හපුතලේ ඔය හැම තැනම නෑයෝ ඉන්නවා(ලු) ලූ දාන්න වුනේ සමහර අයව තාම දැකලා නැති නිසා

    ReplyDelete
  28. හත්දෙයියනේ එහෙනං ඔහේ කොලොම්පුරේට වෙලා මක්කරනවැයි, මෙහේ එන්නේ නැතුව. කාශ්ඨකේ පිච්චෙන්න ඔච්චරටම ආසද?

    ReplyDelete
  29. මොනවා කරන්නද මෙයා. මුල් අදින්න කලින් ගලවං ඇවිත් මෙහේ හිටෝලානේ. :(

    කොහොමත් ඔය පැත්තට ආපහු එන්න සිතාගෙනයි ඉන්න‍නේ :)

    ReplyDelete
  30. එළ එළ සංතෝසයි ජය...

    ReplyDelete
  31. අප්පා මටත් මේ පරිසරයේ සුන්දරත්වය ඒ සිසිල නෑවුම් බව දෑනෙනවා වගේ.මමත් යායුතු ලයිස්තුවෙ උඩටම දාගත්තා මේ ස්ථානය

    ReplyDelete
  32. ශා.......................!!!!
    පට්ට

    ReplyDelete
  33. බිඟුවා-- සොරි වෙන්න් ඕන. අදයි දැක්කේ... ටැංකියු.

    NUWAN"s lane-- අනි අනි... ඒක තමයි වෙන්න ඕන...

    Ansh Lucky Sri Jay-- ආ මේ ඉන්නේ... මං ඒත් බැලුවා කෝ කියලා... පට්ට විතරක් මදි... සෙට් එක එනකොට අනිවා එන්න ඕන හො‍‍ඳේ...

    ReplyDelete
  34. හරිම ලස්සන පරිසරයක්. ස්තුතියි දැනුවත් කලාට.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  35. මැණික්(සුළඟ) -- ටැංකියු වේවා...

    ReplyDelete
  36. මේකනම් මාරම ගති ලොකු මහත්තයා..! දෙන්න ගියපු බයික් එකත් උපරිමයි..!!! ගමං රපෝර්තුවත් ඊට දෙවැනි නැහැ..!!! මේ වගේ පැති වලට එක අතකින් මිනිස්සු එන්නේ නැති එකත් එක අතකට හොඳයි මොකද දන්නවානේ යාපනේට යන අපේ ටුවරිස්ට්ලා කොරලා තියෙන දේ..?
    මොකක් උනත් ඒ ගමන් රපෝර්තුවනම් පංකාදු පහයි..!!
    ජයෙන් ජය පතනවා..!!!

    ReplyDelete
  37. ආ... ‍පොටෝ මහත්තයත් ඇවිත් ඉන්නේ... ඔන්න මං කට්ටියටම ඉන්විටේෂන් එකක් දැම්මා. කාළ වේළාව හදාගෙන එනු හොඳයි මේ පැත්තේ...
    හැබෑව හැබෑව...
    ජය වේවා...

    ReplyDelete
  38. කිය කියා ඉඳපල්ලා ..එකෙක් වත් එන්නැති එක තමා දුක.. මායි කුෂාන් අයියයි සෙට් උනොත් අනාගතේ ගැන කතා කරනවට වඩා බ්ලොගර්ස්ලාව මෙහෙ ගෙන්නන ක්‍රම ගැන තමා කතා කරන්නේ වැඩිපුරම.
    .. අනේ මේ එකෙක්ටවත් ඒකේ වගක් නැති හැටි..
    ඔන්න ඊළඟ ටුවර් එක යන්න කලින් දිනයයි වෙලාවයි යන තැනයි දන්වනවා.. එන අය වරෙල්ලා.. නැති උන් ඒත් වරෙල්ලා..
    හිකිස්!!!
    :) :)

    ReplyDelete
  39. ලංකාවේ තේ ඉස්තරම් කියල ඇත්තටම පිටරට වල මිනිස්සු කියනවා මම පෞද්ගලිකව අහල තියනව. සුද්දෝ විතරක් නෙවෙයි, පර්සියනුවෝ, අරාබි කාරයෝ, කොරියානුවෝ ඔය තේ සලකන්නේ වටිනාම තේ හැටියට. තව මොන කතාද චීන්නුත් තමන්ගේ තේ වලට වඩා ලංකාවේ තේ වලට කැමතියි. හැබැයි ඒ ඔක්කොම කට්ටිය දන්නේ 'සිලෝන් ටී' කියන නමින්. ගොඩක් අය කියනකම් දැන් නැහැ සිලෝන් ටී එන්නේ ලංකාවෙන් කියල...

    වාර්තාව දිග උනත් එක හුස්මට කියෙව්වා, විස්තරය අනර්ඝයි. පින්තූරත් සුන්දරයි, විස්තරත්මකයි. ස්තූති වේවා... අවුරුදු 26 ක් ලංකාවේ ජීවත්වෙලත්, රට වටේම ගිහිල්ලත්, ඔය තැන tv එකේ අහල, දැකල තිබ්බත් බලන්න යන්න බැරිවූන එක අවාසනාවක්. තව තවත් මෙවැනි සංචාර වල විස්තර ලියන්න ලැබේවා...

    ReplyDelete
  40. @සචිර-- බොහෝම ස්තූතියි මිතුයා අදහසට. මේ ලිපියට අදාලව සෑහෙන්න වටින කමන්ට් එකක් ඔබ දැමේ... ඔබ කොහොමත් පරිසර හිතකාමියානේ. මමත් ඔබේ ෆොටෝ බ්ලොග් එක බලනවා නිතරම. ඒත් කමන්ට් දාලා නම් නෑ...

    සිරාවටම සුද්දෝ තාම මේකට කියන්නේ සිලෝන් කියලද? නැත්නම් අපේ අය මාර්කට කරන්නේ මේ තේ "සිලෝන් ටී" කියලද? වෙන්න ඇති මොකද ලංකාවෙත් ලිප්ටන් තේ මාර්කට් කරේ "ලිප්ටන් සිලොන්‍ටා" කියලනේ...
    ටැංකියු වේවා...

    ReplyDelete
  41. කොමෙන්ට් නැතත් අපේ බ්ලොග් එක පැත්තේ ඇවිත් යන එක ලොකු සතුටක් :)
    කැන්ගරුදේසේ සුද්දොනම් ශ්‍රී ලංකාව කිව්වම හොඳට දන්නවා, ක්‍රිකට් නිසා වෙන්ට. හරියටම දැන් නැති උනත් මට හිතෙන්නේ අපේ කට්ටිය තේ මර්කෙට් කරනවා ඇත්තේ සිලෝන් කියල. මොකද 'ශ්‍රී ලංකා' කියන ප්‍රතිරූපය 'සිලෝන්'ට වඩා ටිකක් පහලින් තියන හින්ද. මොනවා උනත් මේ අපේ රටේ තේ කියල ආඩම්බරෙන් පෙන්නන්න තාම පුළුවන් :)

    ReplyDelete
  42. මට ඉරිසියයි බොල. මේ වගේ ප්ලේස් එකක අර මරනේ කිව්වා වගී පොඩි අංශයකුත් අරන්... උබ කිව්ව වගේ බොන්ගො එකකුත් අරන් නයිටකට සෙට් උනා නම්... හපොයි අන්න ජීවිතේ....

    පට්ට ආ....

    ReplyDelete
  43. පිස්සා... ඕපන්ලි වෙල්කම්... වචන වලට විතරක් සීමා කරන්න එපා :) එහෙම ආතල් එකක් ගන්න තියෙනවානම් සුපිරි...

    ReplyDelete
  44. කුෂානස්,
    අදයි නිවී හැනහිල්ලේ මේක කියෙව්වෙ. හප්පා මාරයි ඇ.... මමත් ආසම දෙයක් තමයි බයික් එකේ ගමන්.

    හැබැයි අපිටනං මෙච්චර හරියක් කරන්න බැරුව ගියා. අපි යාත්නං ගියේ කොළඹ ඉදං ගම්පොල තියෙන අම්බුලුවාව කන්දට විතරයි. එහෙ යද්දි එද්දි උඔ ඔය කියන මීදුම මැද්දෙං සීතල හුලං පාර කපාගෙන මමයි මැරියනුයි ගියා මට මතක් උනා මේක කියවද්දි...

    පරිසරේ තියෙන සුන්දරත්වය මැද්දෙන් බයික් එකේ යන ගමන වචනෙන් විස්තර කරන්න බෑ නේද කුෂානයා ගිහිල්ලම බලන්නැතුව!

    ReplyDelete
  45. @බුද්ධි--ඔය ඉන්නේ ටේස්ට් එක දන්න පොරවල්. ඒ ආතල් එක නම් කියලා වැඩක් නෑ. අපිත් අම්බුළුවාවේ යන්න ඉන්නේ. උඩටම බයික් එකේ යන්න පුළුවන් නේද?

    මැරියන් ගැන අපිට කියලා නෑ නේ මීට කලින් ;-)

    ReplyDelete
  46. කුෂා, අම්බුලුවාව මුදුනටම යන්න පුලුවං බයික් එකේ. ගේමක් නෑ. මගේ 125cc ත් ගේමක් නැතුව ඈද්දා. හාලියා ගැන කතා නෑනේ එහෙනං නේද!.

    මැරියන් ගැන විස්තර සමහරක් මෙතනත් ඈති
    http://cyberyaya.blogspot.com/2010/03/blog-post_31.html

    ReplyDelete
  47. ටැංකියු වේවා ඔත්තුවට.

    හානේ හරී සෝයි, මැරියන් කෙනෙකුයි නැන්දම්මෙකුයි නේ ඉන්නේ... :)

    ReplyDelete
  48. Machan Is it possible to travel there by small car like Maruti.? also let me know the road condition.
    TIA

    ReplyDelete
  49. Well written..........it proves that you are a novelist....................

    ReplyDelete