Showing posts with label විචාර නොවේ. Show all posts
Showing posts with label විචාර නොවේ. Show all posts

Friday, February 6, 2009

නූතන බුද්ධි පරීක්ෂණය

animal-in-love

ගොඩක් දවසකින් ලියන්න වෙලාවක් ආවේ… මේක කලින්ම නෝට් පොතක ලියලා තිබ්බ එකක්, පස්සේ බ්ලොග් එකේ දාන්න හිතාගෙන… මම බලපු මාරම ආතල් ප්‍රෝග්‍රෑම් එකක් මේක… අනිවාර්යයෙන්ම ඔබත් බලලා ඇති… මේන් මේකයි උනේ… ඕන එහෙනං අහගන්න…

ලොකු එකී:
හායි!!! අද අපි ඕගොල්ලන්ව හම්බවෙන්නේ අපේ මේ ආතල් ප්‍රෝග්‍රෑම් එකේ තුන් වෙනි සෙග්මන්ට් එකේදි. අද තියෙන සිරාම වැඩේ තමයි බුද්ධි පරීක්ෂණය. අද අපේ තඩි උස කොලු නාම්බා, අර නාඹර ගැටිස්සියෝ හතරදෙනා ගෙන් ප්‍රශ්ණ අහලා බුද්ධිය පරීක්ෂා කරලා හොඳම මීටරේ තියෙන ගැටිස්සිව‍ තෝරනවා. අපි බලමු මොනාද වෙන්නේ කියලා…

(පවු අප්පා අහිංසකී… හරියට කලව වැහෙන්නවත් ගවුං කොටේ තිබ්බේ නෑ. ඒ උනාට මොකද කිටි කිටියේ තදටම ඇඳලා. මස් ගොබ එලියට පැනලා හිරිකිතේ බෑ. ඒත් ඔය හිනා වෙවී ඉන්නේ. ඉඳගත්ත තැන ඒ විදිහටම… හෙල්ලෙන්නෙවත් නෑ… මොකෝ, ඩිංගක් හරි එහා මෙහා උනොත් විලිසංගේ නැතුව යනවා.)

ලොකු එකී:
මේ අපේ ගැටිස්සී නම්බර් වන්.

කොලු නාම්බා:
හායි…

ගැටිස්සී නම්බර් වන්:
හායි අයියා… උම්ම්ම්ම්ම්ම්බා…..

කොලු නාම්බා:
මෙන්න මගේ පලවෙනි ප්‍රශ්ණේ… සිරා ලව් එක ඔයා දකින්නේ කොහොමද?

ගැටිස්සී නම්බර් වන්:
ආාාාහ්… ඔයා මගෙන්ද ඇහුවේ… අනේ ස්වීට්… ලව් එක පේන්නේ නෑනේ… ඔයා මොනා අහනවද මන්දා…

කොලු නාම්බා:
නෑ චූටි… මම ඇහුවේ සිරා ලව් එක කියන්නේ මොකද්ද කියලා…

ගැටිස්සී නම්බර් වන්:
ඔයා ඔය ඇත්තටමද අහන්නේ… සිරා ලව් කියන්නේ… කවදහරි මගේ හබීගෙන් හම්බවෙන එක තමයි.

කොලු නාම්බා:
හොඳයි… ඕං ඊලඟ එක… කසාදයක් බැඳගත්තට පස්සේ ගෑණි ගෙදර ඉන්න ඕනද, වැඩට යන්න ඕනද?

ගැටිස්සී නම්බර් වන්:
ඔයාට පිස්සුද? මොකටද වැඩට යන්නේ… හැබැයි දවස් දෙකකට සැරයක් ඩිනර් අවුට් එකක් යන්න ඕන. අනිත් දවස් වලට ෂොපින් කරන්න ඕන… මම ආසයි හවසට හබී ගෙදර එන වෙලාවට අග්ගලා හරි වන්‍ඩු ආප්ප හරි හදාගෙන පාරදිහා බලාගෙන ඉන්න. අනිවාරයයෙන්ම එයා මට රුලං විසකෝතු ගේන්නත් ඕන… උනුවෙන් නෙස්ටමෝල්ට් එකක් හදාගෙන, රුලං විස්කෝතු ඒකේ පොඟවගෙන කන්න ඕන… සුට්ට සුට්ට් කන්න ඕන… ඒ නිසා කොහොමත් ජොබ් එකකට යන්න බෑනේ අයියා…

කොලු නාම්බා:
හොඳයි, ඕං ඊලඟ එක… බැන්දට පස්සේ ළමයි කීයක් හදනවද?

ගැටිස්සී නම්බර් වන්:
චිකේ… හොඳඳඳඳඳඳඳඳඳඳනෑ… මාර කතා තමයි ඔයත් කියන්නේ… ටීවි එකට කියන්න පුළුවන්ද ඒවා… නෝටි බෝයි… හප්…

කොලු නාම්බා:
හරි එහෙනම් next one. බැන්දට පස්සේ ඉස්සෙල්ලම මැරෙන්න ඕන ඔයාද? හබීද?

ගැටිස්සී නම්බර් වන්:
ඉහි… ඉහි… ඉහි… ඈහ්… ඈහ්… (ගැටිස්සිය හඬා වැලපෙයි)

කොලු නාම්බා:
මොකද මේ අඩන්නේ…

ගැටිස්සී නම්බර් වන්:
අඬනවා නෙමෙයි… ඇ‍‍ඬෙනවා… හබී කොහොමද දවසක් හරි මම නැතුව ඉන්නේ…!!! කවුද එතකොට එයාට වන්ඩු ආප්ප හදලා දෙන්නේ…!!! ඒ නිසා මම මැරිලා බෑ… එයා මැරෙන්න ඕන ඉස්සෙල්ලම…

කොලු නාම්බා:
හරි… අපි හිතමු ඔයා ඉස්සෙල්ලා මැරුණා කියලා… එතකොට හබී වෙන කසාදයක් කරගන්න ඕනද? නැද්ද?

ගැටිස්සී නම්බර් වන්:
අයියා මේ… එව්වා කොහෙද මේ මාත් එක්ක… වෙන එක ගෑණු පුලුටක් හරි ගෙදර හතර මායිමට හරි ගෙනාවොත් බලා ගත්තහැකි මං කවුද කියලා… ඔන්න මං නරක ගෑණියි කියන්න එපා… වැරදිලා හරි එහෙම උනොත්, හබිය කියලා බලන්නෑ… හබියගෙයි, අර ගෑණිගෙයි දෙන්නගෙම කකුල් හතර කඩලා, දෙකක් මූදේ දාලා, අනිත් දෙකත් මූදේ දානවා… හ්ම්… උන් දන්නෑ මං කවුද කියලා…

කොලු නාම්බා:
හරි හරි නංගී… බොහෝම ස්තූතියි… අපි ඊලඟ සෙග්මන්ට් එකේදි ආයේ හම්බ වෙමු… බායි…උම්ම්ම්ම්ම්ම්ම්බා….

-- ඔය විදිහට ගැටිස්සියන් හතර දෙනෙක්ම තම තමන්ගේ මීටරේ රටටම පෙන්නුවා… කොල්ලටත් මොන සැපද, අනංගයාගේ බාප්පටවත් නැති සැප පොරට, මල් හතයි… අපිත් ඉතින් ක‍ට ඇරගෙන බලන් ඉන්නවා… බුදුධිපරීක්ෂණයක් කිවුවම මම හිතුවා මේ විද්‍යාව, ගණිතය, රටේ තත්ත්වේ, ඔබාමා, ගාසා තීරය, ඉතිහාසය, මේ වගේ වැදගත් දෙවල් අහයි කියලා… අප්පිරියාවේ බෑ… ඕක්… හපරාදේ පැය බාගේ… ආයෙනම් මතක ඇති කාලෙකට මේකට සෙට් වෙන්නේ නෑ… (ඔය කිවුවට නිකම් පුහු ආතල් එකකුත් තියෙනවා ඒ වැඩේ…) කරන අය කෙසේ වෙතත්, බලන අය බුද්ධීය පාවිච්චි කරලා, බුදු හාමුදුරුවෝ කිව්වා වගේ නුවනින් විමසලා තවත් ඕවා බලනවද නැද්ද කියලා හිතුවොත් හොඳයි වගේ…

Saturday, January 17, 2009

The Deep Blue Sleep

N හා පුරා කියා 2009 වසර ලැබූ දිනයේම අපට ඒ අවස්ථාව උදා වූයේ සාමාන්‍යයෙන් ජනවාරි පළමුවැනි දින අප ආයතන සමූහයටම නිවාඩු දිනයක් වන බැවිනි. දයාරත්න රටගෙදර ශූරීන්ගේ නවතම සැලෝලයිට් රූප පෙළහර “නිල් දිය යහන” හෙවත් “The Deep Blue Sleep” නැරඹීමට බදුල්ල නගරයේ Rex නම්වූ සිනමා පෙන්වන ටකරන් මඩුවට ඇතුලුවුයේ ඒ අනුවය.

ආරම්භයේදී තරමක් ම්‍ධ්‍යස්ථ ලෙස වින්දනාත්මක වුවත් කෙමෙන් කෙමන් මධ්‍යය භාගය එලැඹෙන විට එය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම The Deep Blue Sleep සාක්ෂි සහිතව සාධනය කරන්නක් විය. ඒ Blue කෙසේ වෙතත්, අප සමඟ ගිය සාමාජිකයන් සතර දෙනෙකුගෙන් දෙදෙනේකුම Deep Sleep හෙවත් තද නින්දේ පසුවන්නටත් අනෙකා අඩ නින්දේ පසුවන්නටත් වූ බැවිනි. සැලෝලයිට් පටයෙන් ප්‍රක්ෂේපිත නේක වර්ණ කදම්භ ක්ෂීර වර්ණ තිරයේ වැදී පරාවර්තනය වූ ආලෝක කිරණ අක්ෂි කණිනිකාවට ඇතුළු වීම කඩින් කඩ හෝ නැවතියාම ආයාසයෙන් හෝ වලක්වාගෙන සිටියේ මා පමණි. ඒ ස්වභාවයෙන්ම මා හ‍ට මහා ඝෝෂාවක් ඇති තැන නින්ද නොයන නිසාවෙනි.

කියන්නට තරම් මහ ලොකු වැරැද්දක් නැතත් කතාවේ ගලායාමේ වේගය වැඩි යැයි හෝ ඉවරවූවා ඉක්මන් වැ‍ඩි යැයි මට සිතුනි. ඒ එය ඒතරම්ම ආත්මීය සුවයක් අත්කර දුන් නිසා නොවේ. කතාවේ සෑම වචනයක්ම තිර රචනය තුල චිත්‍රණය කිරීමට උත්සහ කිරීම එයට හේතුව ලෙස මම දකිමි. ඒ සමඟම කෙදිනකහෝ මා නරඹා ඇති ඉංග්‍රීසි වෘත්තාන්ත චිත්‍රපටයකවත් කතා කොපියක් දැයි මට සිතුනු වාර අනන්තය. එහෙත් මට හරියටම නිච්චියක් නැත. සමහරවිට කලකට පෙර කන වැකුණු කතාවක් විය හැකිය.

කෙසේ වෙතත් වාණිජමය අරමුණින් සෑදෙන සමහරක් ජොකා බයිලාවන්ට සාපේක්ෂව වින්දනීය රසයක් ගැබ් වුනු පැය දෙකක් තිරයේ මවන්නට ද‍යාරත්න රටගෙදරයන් ගෙන ඇත්තේ කිසිසේත්ම අසාර්ථක උත්සහයක් නොවන බව නම් නොවලහා වහ වහා පැවසිය යුතු මනාය. එසේ නැතුව කෝකටත් ගරහන, ලක්ෂණ තුළ අවලක්ෂණ දකින, රස තුළ නීරස දකින, වර්ණ තුළ කළු සුදු දකින, වාක්‍යයන් තුළින් ජනප්‍රියත්වය සොයන, තීරු ලිපියකට සිරවුණු බෝල්පොයින්ට් පැනක් අතගත් සාම්ප්‍රදායික මට්මමේ විචාරකයකු වීම මාගේ අභිප්‍රාය නොවේ.

මේ මාගේ පෞද්ගලික මතය වන අතර ඔබ සතු ලුණු ඇඹුල්ද මෙයට එකතු කර මෙය තවත් රසවත් කරන ලෙසට ආරාධනා කරමි.