Wednesday, December 30, 2009
දෙසක් රියක චාරිකාව
Thursday, August 13, 2009
මාර නංගියෙක් හම්බ උනා අයියො… ඔබටත් හම්බ උනාද? පව් නේද…?
Saturday, July 11, 2009
අම්මා හා කිව්වා…
අප්පේ සෑ…හෙන කාලෙකට පස්සේ. මයෙ හිතේ මාස තුනක් විතර අති. කොහොම හරි සින්ඩියේ බොස් මාව සින්ඩියෙන් අයින් කරන්න කලින් ඕන් එකක් ලිව්වා. ඕන් එහෙනං බ්ලොග් නොලිව්වට නිදහසට කාරණා.
- අපේ කොම්පැණිය චකබ්ලාස් උනා. මගේ කලිං පෝස්ට් කියෙව්වනං මම ඒවයේ අනතුරු අගවලා තිබ්බා. සමහර අය මේ සීන් එක දන්නවා. ඉතින් ඕක නිසා අපේ SBU එකේ 3දෙනෙක්ට වැලේ වැල් නැති උනා. මමයි, ෆා ද බ්ලොගීයි, පැංචියි .අනාතයි. දවස් ගානක් ජාලේ තිබ්බෙත් නෑ. කැෆේ යන්න සල්ලි අතෙත් නෑ.ෆුල් අන්දොස්.
- බ්ලොග් ලියන එක පැත්තක දාලා කට්ටියම අළුත් ජොබ් හෙව්වා. ආයේ ඉතින ගමේ ජොබ් හොයනවා බොරු. යනවා නම් ඉතින අගනුවර තමයි. ඒ නිසා මම ජොබ් හෙවිල්ල පැත්තක දාලා ලාවට බිස්නස් එකකට අත ගැහුවා. මේ ගැන මම මුලින්ම කිව්වේ අපේ මරනෙට. මෙන්න මෙතනදි. ඉතින් ඕන් මම ලාවට ජාල කඩයක් දැම්මා. ලාබෙට උබුන්ටුත් එක්ක අපේ ටවුමට ජාලේ දෙන්න. වැඩේ දැන් ටිකක් නැගලා යනවා. උබුන්ටු දුවන්නේ වෑර්ලස් නෙට්වර්ක් එකේ. කොටින්ම උබුන්ටු කියා වෑර්ලස් වත් දුවන ජාල කඩයක් මේ පලාතේ වත් නෑ. ලංකා බෙල් කොම්පැණියෙන් තමයි ජාලේ. ටෙලිකොම්ලට දෙන්න බෑලු. extension අවුල්ලු. ADSL තරහයිලු. Dialog කන්දට වැහෙනවලු. බාධක වැඩියිලු. අපරාදේ කියන්න බෑ අන්තිමේ ලංකා බෙල් කියන ගාන අඩු නැතිව දුන්නා. වෘත්තීය මට්ටමෙන් උබුනුටු දුවනකොට නාගත්ත වෙලාවට අපේ ශාකුන්තල ෆ්‍රෙඩයි හර්ෂන ෆ්‍රෙඩයි හෙන සපෝට් එකක් දුන්නා. දෙන්නටම තැන්කූ… ඉතින් මේවගේ බිසී කේස් නිසා බ්ලොග් එක අයාලේ ගියා.
- තුන්වෙනි හේතුව තමයි සිරාම වගේම දුකම හිතෙන සීන් එක. මගේ ෆියොන්සේගේ අම්මා ඒ කියන්නේ මගේ වෙන්ඩනැද්දම්මා ටිකක් අපි දෙන්නගේ යාළු සමාගමයට ෆීනික්ස් දැම්මා. කරන්නම දෙයක් නෑ. එයා ඉන්නේ ඒරොප්පේ. කවුද රොයිටර් කොනක් එහෙටම නිවුස් එක දීලා. අම්මට මලේ මල. බෑ කිව්වොත් බෑම තමයි. අම්මට සීන් එකට අසූහාරදාහට තද වෙලා. ඉතින් අම්මා කැමති කර ගන්නත් මාස්ටර් ප්ලෑන් එකක් ගහන්න උනා. පහුගිය දෙවෙනිදා එතුමී ඒරොප්පේ ඉඳන් මෙහේ ආවා. ඒකෙන් අපේ දුරකතන මාර්ගයත් අවහිර උනා. ඉතින් මොන බ්ලොග් ලිවිලිද. මෙලෝ සිහියක් නැතිව නැන්දම්මා කැමති කරගන්න විදිහක් බැලුවා. පස්සේ අපි දෙන්නා කතා වෙලා දුන්නා ඓතිහාසික ගේමක්. ඊයේ දවල් නැන්දම්මව ලන්ච් එකකට එක්කරගෙන ගිහින් හෙන කතාවක් එහෙම පවත්වලා බොහෝම යටහත් පහත් ලෙස ඕකේ එක ඉල්ලුවා. ආයචෙනා කරා. පතරොම් රහිත වෙඩිතැබීමේ කළාව තමයි අනුගමනය කරේ. වැඩේ හිතුවටත් වඩා ගොඩ. නැන්දම්මාගේ හිත උණු වෙලා, මේ අසරණ ගැත්තගේ පහන් සංවේගය උදෙසා ඕකේ එක දුන්නා. මාර හැපි. හරිනම් බොන්න ඕන සීන් එක. ඒත් කොහෙද බීලා පුරුදු නෑනේ. ඊයේ රෑ අපේ ගෙදරටත් නිවුස් එක ගෙනිච්චා. අපේ අම්මා කොහොමත් ඕකේ එක දීලා තිබ්බේ.
- දැන් ඊලඟට තමයි ලොකුම ගේම් එක. ඒ තමයි මව් සමාගම් දෙක ඉක්මනින්ම මුනගස්සවන්න ඕන. එකටත් දෙන්න ඕන එළ ප්ලෑන් එකක්. ඉතින් මේ නිවුස් එක නොකියා කොහොමද? ඒකයි තකහනියක් බ්ලොග් එක ලීව්වේ. දැන් නම් ඉතින් දිගටම ආපහු ලියන්න ඹ්න.
ඔන්න එහෙනං නිදහසට කරුණු කාරණා කිව්වා. දැනට නවත්තලා යන්න ඕන. “අවසන් සටන”ට ප්ලෑන් එක ගහන්න තියෙනවා. ඕගොල්ලේ ගාව එහෙම තියෙනවනම් එළ ප්ලෑන් එකක් මටත් කියන්න. අමතක කරන්න එපා. මේක අවසන් සටන… අපි දැන් හරි වෙනස් :D
Thursday, April 2, 2009
ගලවපං මේ මාංචු…
එන්නේ නෑ දැන්
ඉස්සර වගේ
කවි සිතුවිලි
මගේ හිතට…
හිර කරලා අපිව,
දාලා මාංචු,
හිතන්න දෙන්නේ නෑ සැහැල්ලුවට,
වගකීම්,
යුතුකම්,
සල්ලි,
අනාගතේ,
මේ එක යතුරකින්වත්
මාංචු ලිහන්න බෑ…
එන්න එන්න හිරවෙනවා…
කෝ අපේ ලෝකේ?
ඒ දවස්වල තිබ්බ,
පාවෙන සැහැල්ලු ජීවිත,
ගංජා ගැහුවේ නෑ අපි,
ඒත් පාවුනා සැහැල්ලුවට,
දැනුනේ නෑ බරක්,
කවදාවත් හිතට,
හිතෙන කොට කෑවා,
හිතෙන කොට බිව්වා,
හිතෙන කොට නෑවා,
හිතෙන කොට නිදා ගත්තා,
හිතෙන කොට නැඟිට්ටා,
හිතෙන කොට ගියා,
හිතෙන කොට ආවා,
ඒත් දැන්,
හැම එකටම වෙලාවක්,
කෝ තිබ්බ නිදහස?
කෝ තිබ්බ සැහැල්ලුව?
මේකද නවත්වය කියන්නේ?
ආසම හැමදේම නැතිවෙන එකද?
ඇයි ආපහු දුවන්න බැරි,
කොල්ලෝ රැලත් එක්ක පාර දිගට?
ඇයි ආපහු හිනා වෙන්න බැරි,
වට වෙලා සෙට් එකම එකට?
ඇයි ආපහු වැටෙන්න බැරි,
අම්මගේ තාත්තගේ තුරුලට,
ඇයි ආපහු අඬන්න බැරි,
දුකක් දැනුනම හිතට?
අපිව හිර කරලා, මාංචු දාලා,
කෝ තිබ්බ සැහැල්ලුව,
ඇයි දැන්ම මේක හිතුනේ?
පිස්සුවත් හැදීගෙන එනවද?
නැත්නම් පිස්සු හොඳවීගෙනවත් එනවද?
කෝ අපේ ලෝකේ?
මේ හිරවෙච්ච කූඩුවද?
ගලවපං මේ මාංචු…
ඇරපං මේ දොර…
යන්න ආයේ අපේ ලෝකෙට…
Tuesday, March 31, 2009
නොපතමි මම
නෙපතමි මම මහ සයුරක්,
පතමි වෙරළත සිප්පි කටුවක්…
නොපතමි මම ඉරක් හඳක්,
පතමි ලඟ ඇති මිණි පහණක්…
නෙපතමි මම රස බොජුනක්,
පතමි ලුණු සහ බත් ඇටයක්…
නොපතමි මම සිටු මැදුරක්,
පතමි සිහිලැල් තුරු සෙවනක්…
නෙපතමි මම සුඟඳ සුර පහසක්,
පතමි සෙනෙහෙබර සිත් අහසක්…
නෙපතමි මම වැතිරෙන්නට සුර යහනක්,
පතමි ඇලවෙන්නට හුරු උකුලක්…
නොපතමි මම ඹබෙන් තොර ලොවක්,
සදමි ඹබට මට එක දෙව් විමනක්…
(ඉහත සොඳුරු ඡායා රූපය මවිසින් ගන්නා ලද එකක් නොවන අතරම, මුලු විශ්ම වියමනම සිසාරා එම සොඳුරු ඡායා රූපය සොයා ගත්තේද මම නොවෙමි)
Thursday, March 19, 2009
තත්ත්වෙ භයානකයි ලොකු පුතේ
කොම්පැණියේ තත්ත්වෙ එන්න එන්නම භයානක අතට හැරිලා. දැනට වට දෙකක් සෙල්ලං කළා. අපි හිතුවේ වට දෙකෙන් ගේම ඉවර වෙයි කියලා. එහෙම නම් ගොඩ. හැබැයි අවාසනාවට තුන්වැනි වටේටත් තේරුණා. තව තව වැඩේ දිග්ගැස්සෙනවා. ආරංචියේ හැටියට 18 වෙනිදා සෙමි ෆයිනල්. 26 වෙනිදා අන්තිම ෆයිනල් එක (හික්). අනේ අප්පේ ඒකෙන් වත් වැඩේ ගොඩ ගියොත් හරි.
තේරෙන්නේ නෑ නේ… ඒක තමයි… මටත් තේරෙන්නේ නෑ… ඒනිසා තේරුං ගන්න උත්සහ කරන්නෙත් නෑ. ආයෙනම් ඉතින් ජොබ් හෙයලා ගොඩයි. අනික පුරුදු ජොබ් එකම. අපේ ලොකු බොස් නම් තාම ගේමේ ඉන්නවා. ෆුල් පොසිටිව්. ගේම අතඅරින්නේම නෑ. තිස් තුන් කෝටියක් දෙයියොන්ගේ නාමෙන් වැඩේ ගොඩ ගියොත් හරි. ඔබාමා මාමේ.., මේ පෙලවහක් කරගන්න ඕන වයසේ ආයේ ජොබ් හොයන්න නම් බෑ හොදේ… අපේ බොස්ට… ජයවේවා… අසරණ අපිටත් ජය වේවා…
(මේක ටික දවසකට කලින් පොතක ලියලා තිබ්බ එකක්… වෙලා තිබ්බ නැති නිසා පබ්ලිෂ් කරන්න බැරි උනා. දවස් එහෙම වැරදි ඇති. වරදට සමාව… (හික්ස්))
Friday, February 6, 2009
නූතන බුද්ධි පරීක්ෂණය
ගොඩක් දවසකින් ලියන්න වෙලාවක් ආවේ… මේක කලින්ම නෝට් පොතක ලියලා තිබ්බ එකක්, පස්සේ බ්ලොග් එකේ දාන්න හිතාගෙන… මම බලපු මාරම ආතල් ප්‍රෝග්‍රෑම් එකක් මේක… අනිවාර්යයෙන්ම ඔබත් බලලා ඇති… මේන් මේකයි උනේ… ඕන එහෙනං අහගන්න…
ලොකු එකී:
හායි!!! අද අපි ඕගොල්ලන්ව හම්බවෙන්නේ අපේ මේ ආතල් ප්‍රෝග්‍රෑම් එකේ තුන් වෙනි සෙග්මන්ට් එකේදි. අද තියෙන සිරාම වැඩේ තමයි බුද්ධි පරීක්ෂණය. අද අපේ තඩි උස කොලු නාම්බා, අර නාඹර ගැටිස්සියෝ හතරදෙනා ගෙන් ප්‍රශ්ණ අහලා බුද්ධිය පරීක්ෂා කරලා හොඳම මීටරේ තියෙන ගැටිස්සිව තෝරනවා. අපි බලමු මොනාද වෙන්නේ කියලා…
(පවු අප්පා අහිංසකී… හරියට කලව වැහෙන්නවත් ගවුං කොටේ තිබ්බේ නෑ. ඒ උනාට මොකද කිටි කිටියේ තදටම ඇඳලා. මස් ගොබ එලියට පැනලා හිරිකිතේ බෑ. ඒත් ඔය හිනා වෙවී ඉන්නේ. ඉඳගත්ත තැන ඒ විදිහටම… හෙල්ලෙන්නෙවත් නෑ… මොකෝ, ඩිංගක් හරි එහා මෙහා උනොත් විලිසංගේ නැතුව යනවා.)
ලොකු එකී:
මේ අපේ ගැටිස්සී නම්බර් වන්.
කොලු නාම්බා:
හායි…
ගැටිස්සී නම්බර් වන්:
හායි අයියා… උම්ම්ම්ම්ම්ම්බා…..
කොලු නාම්බා:
මෙන්න මගේ පලවෙනි ප්‍රශ්ණේ… සිරා ලව් එක ඔයා දකින්නේ කොහොමද?
ගැටිස්සී නම්බර් වන්:
ආාාාහ්… ඔයා මගෙන්ද ඇහුවේ… අනේ ස්වීට්… ලව් එක පේන්නේ නෑනේ… ඔයා මොනා අහනවද මන්දා…
කොලු නාම්බා:
නෑ චූටි… මම ඇහුවේ සිරා ලව් එක කියන්නේ මොකද්ද කියලා…
ගැටිස්සී නම්බර් වන්:
ඔයා ඔය ඇත්තටමද අහන්නේ… සිරා ලව් කියන්නේ… කවදහරි මගේ හබීගෙන් හම්බවෙන එක තමයි.
කොලු නාම්බා:
හොඳයි… ඕං ඊලඟ එක… කසාදයක් බැඳගත්තට පස්සේ ගෑණි ගෙදර ඉන්න ඕනද, වැඩට යන්න ඕනද?
ගැටිස්සී නම්බර් වන්:
ඔයාට පිස්සුද? මොකටද වැඩට යන්නේ… හැබැයි දවස් දෙකකට සැරයක් ඩිනර් අවුට් එකක් යන්න ඕන. අනිත් දවස් වලට ෂොපින් කරන්න ඕන… මම ආසයි හවසට හබී ගෙදර එන වෙලාවට අග්ගලා හරි වන්‍ඩු ආප්ප හරි හදාගෙන පාරදිහා බලාගෙන ඉන්න. අනිවාරයයෙන්ම එයා මට රුලං විසකෝතු ගේන්නත් ඕන… උනුවෙන් නෙස්ටමෝල්ට් එකක් හදාගෙන, රුලං විස්කෝතු ඒකේ පොඟවගෙන කන්න ඕන… සුට්ට සුට්ට් කන්න ඕන… ඒ නිසා කොහොමත් ජොබ් එකකට යන්න බෑනේ අයියා…
කොලු නාම්බා:
හොඳයි, ඕං ඊලඟ එක… බැන්දට පස්සේ ළමයි කීයක් හදනවද?
ගැටිස්සී නම්බර් වන්:
චිකේ… හොඳඳඳඳඳඳඳඳඳඳනෑ… මාර කතා තමයි ඔයත් කියන්නේ… ටීවි එකට කියන්න පුළුවන්ද ඒවා… නෝටි බෝයි… හප්…
කොලු නාම්බා:
හරි එහෙනම් next one. බැන්දට පස්සේ ඉස්සෙල්ලම මැරෙන්න ඕන ඔයාද? හබීද?
ගැටිස්සී නම්බර් වන්:
ඉහි… ඉහි… ඉහි… ඈහ්… ඈහ්… (ගැටිස්සිය හඬා වැලපෙයි)
කොලු නාම්බා:
මොකද මේ අඩන්නේ…
ගැටිස්සී නම්බර් වන්:
අඬනවා නෙමෙයි… ඇඬෙනවා… හබී කොහොමද දවසක් හරි මම නැතුව ඉන්නේ…!!! කවුද එතකොට එයාට වන්ඩු ආප්ප හදලා දෙන්නේ…!!! ඒ නිසා මම මැරිලා බෑ… එයා මැරෙන්න ඕන ඉස්සෙල්ලම…
කොලු නාම්බා:
හරි… අපි හිතමු ඔයා ඉස්සෙල්ලා මැරුණා කියලා… එතකොට හබී වෙන කසාදයක් කරගන්න ඕනද? නැද්ද?
ගැටිස්සී නම්බර් වන්:
අයියා මේ… එව්වා කොහෙද මේ මාත් එක්ක… වෙන එක ගෑණු පුලුටක් හරි ගෙදර හතර මායිමට හරි ගෙනාවොත් බලා ගත්තහැකි මං කවුද කියලා… ඔන්න මං නරක ගෑණියි කියන්න එපා… වැරදිලා හරි එහෙම උනොත්, හබිය කියලා බලන්නෑ… හබියගෙයි, අර ගෑණිගෙයි දෙන්නගෙම කකුල් හතර කඩලා, දෙකක් මූදේ දාලා, අනිත් දෙකත් මූදේ දානවා… හ්ම්… උන් දන්නෑ මං කවුද කියලා…
කොලු නාම්බා:
හරි හරි නංගී… බොහෝම ස්තූතියි… අපි ඊලඟ සෙග්මන්ට් එකේදි ආයේ හම්බ වෙමු… බායි…උම්ම්ම්ම්ම්ම්ම්බා….
-- ඔය විදිහට ගැටිස්සියන් හතර දෙනෙක්ම තම තමන්ගේ මීටරේ රටටම පෙන්නුවා… කොල්ලටත් මොන සැපද, අනංගයාගේ බාප්පටවත් නැති සැප පොරට, මල් හතයි… අපිත් ඉතින් කට ඇරගෙන බලන් ඉන්නවා… බුදුධිපරීක්ෂණයක් කිවුවම මම හිතුවා මේ විද්‍යාව, ගණිතය, රටේ තත්ත්වේ, ඔබාමා, ගාසා තීරය, ඉතිහාසය, මේ වගේ වැදගත් දෙවල් අහයි කියලා… අප්පිරියාවේ බෑ… ඕක්… හපරාදේ පැය බාගේ… ආයෙනම් මතක ඇති කාලෙකට මේකට සෙට් වෙන්නේ නෑ… (ඔය කිවුවට නිකම් පුහු ආතල් එකකුත් තියෙනවා ඒ වැඩේ…) කරන අය කෙසේ වෙතත්, බලන අය බුද්ධීය පාවිච්චි කරලා, බුදු හාමුදුරුවෝ කිව්වා වගේ නුවනින් විමසලා තවත් ඕවා බලනවද නැද්ද කියලා හිතුවොත් හොඳයි වගේ…
Wednesday, January 28, 2009
e – සිරියාව නොහොත් අවස්ථා සම්බන්දය…
+ මට ඉරිසියා හිතෙන වැඩමයි කරන්නේ… බව්වා…
+ අනේ මොනාද ඒ වැඩ..?
+ ඔයා ඊමේල් කරත්, ඊකාඩ් දැම්මත් දෙකම එකයි. මට පේන්න ඕවා කරන්න එපා Pleeeeease…
+ හොරෙන් කරාට කමක් නැද්ද එහෙනම්?
+ හොරෙන් කරලා අහු වෙන්නත් එපා…
+ අහුවුනොත් මොනාද කරන්නේ...?
+ මොකුත් නෑ… ඔයාට කැමති දෙයක් කරන්න ඉඩ දීලා, මම අයින් වෙනවා...
+ එහෙම හොඳද?
+ ඔයාට හොඳ නම් මටත් හොඳයි...
+ ෂෝක්... මගේ හොඳඳඳඳඳඳඳඳඳඳඳ බව්වී....
මෙය කා විසින්, කා හට, කොතැනකදී, කුමක් අරබයා කියන ලද්දක්ද?
පරීක්ෂණාත්මක සටහනක්
මෙම සටහන් මාගේ බ්ලොග් අඩවිය සින්ඩිකේටරයේ ලියාපදිංචිව පවතී දැයි පරීක්ෂාකර බැලීමට පමණි.
Monday, January 26, 2009
මම බූරුවෙකු (නො)වීමි
ඇය මට එසේ දුරකථනයෙන් අමතන කල්හි,
මම බූරුවෙකු වීමි…
ඒ මා වැරැද්දකි කර ඇති නිසාවෙනි…
තවද.,
මම බූරුවෙකු වීමි…
ඒ මා අවුරුදු පහකුත් තෙමසක් වැඩ කොටත්,
කීයක් වත් ඉතුරු කර නැත් නිසාවෙන්…
මම බූරුවෙකු වීමි…
ඒ මා දහස් ගණන් වියදම් කොට ඇතත්,
උපාධිය නිම නොකළ නිසාවෙනි…
මම බූරුවෙකු වීමි…
ඒ මා මාගේ දිවියේ හොඳම අවධිය,
කොම්පැණිය වෙනුවෙන් දියකළ නිසාවෙනි…
මම බූරුවෙකු වීමි…
ඒ මාගේ දෙමව්පියන්ගේ කීම නොඅසා,
උසස් පෙළ දෙවන වර නොකළ නිසාවෙනි…
මම බූරුවෙකු වීමි…
ඒ මා ඇය සමඟ නිතර නිතරම,
ඕන්නැති කෙහෙම්මලටත් පැටලෙන නිසාවෙනි…
මම බූරුවෙකු වීමි…
ඒ මා මෙකී නොකී ආකාරයෙන්,
නොයෙක් බූරු වැඩ කර ඇති නිසාවෙනි…
නමුදු, මම බූරුවෙකු නොවෙමි…
ඒ මා ඇයට හෘදය වසුතුවෙන්ම,
සහ එහි පතුළෙන්ම, ආලය කරන නිසාවෙනි…
මන්ද යත්,
අන් අයට කෙසේ වෙතත්, ඈ මට,
මිහි බට දෙවඟනක් වන නිසාවෙනි…
Thursday, January 22, 2009
කවලමක්ද? කලවමක්ද?
දනිස් අමාරුව සනීප වෙන්න
වසන්තය එන්නේ කවදාද?
AC මැෂිම වැඩ කරන්නෙත් නෑ
නිල් සයුර කළඹන්න
පුභාකරන්වත් ලඟදීම අල්ලනවා කියන්නේ
මේසෙ උඩ දූවිලි වරුසාව
ෆෘට් සැලඩ් එකක් වත් තිබ්බනම්
සෙන්ට් සුවඳ නම් මට අරහං
ෆෝන් එකට කාඩ් එකක් දැම්මෙත් නෑ
ජංගම දුරකථනය සයිලන්ට් කරන්න
බස් එකකටම හතර දෙනයි ඉන්නේ
මාළු මැරෙනවා හේතුවක් නැතුව
නිවිච්ච තේ… පියන්ට පිස්සු…
අද මට ඉන්නේ ළමයි දෙන්නයි
ඔබාමත් වැඩ පටන් ගත්තා
මඟුල් කේක් එක පුස් කා යන්කල්
සිත් අහසට හඳක් වගේ
ආදරය සුන්දර ඇයි මේ තරම්
අද වතුරත් නෑ ඔෆිස් එකේ
ප්‍රොජෙක්ටරේ අපේ නෙමෙයි
කවලමක්ද? කලවමක්ද?
Sunday, January 18, 2009
සුවඳ
අහස කලු කරපු නිසා…
වැස්ස වහින්න වාගේ තිබූ නිසා…
අසනි වැස්සේ තෙමෙන්නට වූ නිසා…
හදිස්සියේම ඇගෙන් ඉල්ලා ගත්,
නිල් පාට පුංචි කුඩය,
හිතුවේ නෑ මම, ඇගේ පුරුදු සුවඳ…
මුලු රෑ පුරාවටම මා අසලම රැඳෙමින්…
මගේ පුංචි කාමරයම සුවඳවත් කරයි කියා…
ඒ ඇගේම සුවඳයි…
මම හැමදාමත් කැමති, සුවඳට නමක් නැති,
ඇගේම සුවඳ…
Saturday, January 17, 2009
The Deep Blue Sleep
හා පුරා කියා 2009 වසර ලැබූ දිනයේම අපට ඒ අවස්ථාව උදා වූයේ සාමාන්‍යයෙන් ජනවාරි පළමුවැනි දින අප ආයතන සමූහයටම නිවාඩු දිනයක් වන බැවිනි. දයාරත්න රටගෙදර ශූරීන්ගේ නවතම සැලෝලයිට් රූප පෙළහර “නිල් දිය යහන” හෙවත් “The Deep Blue Sleep” නැරඹීමට බදුල්ල නගරයේ Rex නම්වූ සිනමා පෙන්වන ටකරන් මඩුවට ඇතුලුවුයේ ඒ අනුවය.
ආරම්භයේදී තරමක් ම්‍ධ්‍යස්ථ ලෙස වින්දනාත්මක වුවත් කෙමෙන් කෙමන් මධ්‍යය භාගය එලැඹෙන විට එය වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම The Deep Blue Sleep සාක්ෂි සහිතව සාධනය කරන්නක් විය. ඒ Blue කෙසේ වෙතත්, අප සමඟ ගිය සාමාජිකයන් සතර දෙනෙකුගෙන් දෙදෙනේකුම Deep Sleep හෙවත් තද නින්දේ පසුවන්නටත් අනෙකා අඩ නින්දේ පසුවන්නටත් වූ බැවිනි. සැලෝලයිට් පටයෙන් ප්‍රක්ෂේපිත නේක වර්ණ කදම්භ ක්ෂීර වර්ණ තිරයේ වැදී පරාවර්තනය වූ ආලෝක කිරණ අක්ෂි කණිනිකාවට ඇතුළු වීම කඩින් කඩ හෝ නැවතියාම ආයාසයෙන් හෝ වලක්වාගෙන සිටියේ මා පමණි. ඒ ස්වභාවයෙන්ම මා හට මහා ඝෝෂාවක් ඇති තැන නින්ද නොයන නිසාවෙනි.
කියන්නට තරම් මහ ලොකු වැරැද්දක් නැතත් කතාවේ ගලායාමේ වේගය වැඩි යැයි හෝ ඉවරවූවා ඉක්මන් වැඩි යැයි මට සිතුනි. ඒ එය ඒතරම්ම ආත්මීය සුවයක් අත්කර දුන් නිසා නොවේ. කතාවේ සෑම වචනයක්ම තිර රචනය තුල චිත්‍රණය කිරීමට උත්සහ කිරීම එයට හේතුව ලෙස මම දකිමි. ඒ සමඟම කෙදිනකහෝ මා නරඹා ඇති ඉංග්‍රීසි වෘත්තාන්ත චිත්‍රපටයකවත් කතා කොපියක් දැයි මට සිතුනු වාර අනන්තය. එහෙත් මට හරියටම නිච්චියක් නැත. සමහරවිට කලකට පෙර කන වැකුණු කතාවක් විය හැකිය.
කෙසේ වෙතත් වාණිජමය අරමුණින් සෑදෙන සමහරක් ජොකා බයිලාවන්ට සාපේක්ෂව වින්දනීය රසයක් ගැබ් වුනු පැය දෙකක් තිරයේ මවන්නට දයාරත්න රටගෙදරයන් ගෙන ඇත්තේ කිසිසේත්ම අසාර්ථක උත්සහයක් නොවන බව නම් නොවලහා වහ වහා පැවසිය යුතු මනාය. එසේ නැතුව කෝකටත් ගරහන, ලක්ෂණ තුළ අවලක්ෂණ දකින, රස තුළ නීරස දකින, වර්ණ තුළ කළු සුදු දකින, වාක්‍යයන් තුළින් ජනප්‍රියත්වය සොයන, තීරු ලිපියකට සිරවුණු බෝල්පොයින්ට් පැනක් අතගත් සාම්ප්‍රදායික මට්මමේ විචාරකයකු වීම මාගේ අභිප්‍රාය නොවේ.
මේ මාගේ පෞද්ගලික මතය වන අතර ඔබ සතු ලුණු ඇඹුල්ද මෙයට එකතු කර මෙය තවත් රසවත් කරන ලෙසට ආරාධනා කරමි.
Friday, January 16, 2009
අකමැත්තෙන් වුවද…
අකමැත්තෙන් වුවද අද මා ඇයට යන්නට දුනෙම් තනිවම…
ඒ අප ඊයේ පොරොන්දු වූ පරිදිය…
හවස හය හත වන තෙක් බස් නැවතුම්පලෙහි චාටර් අද නැත…
එය ඇයටද මටද පාඩුවකි…
කලින් යන්නට අදහස ගෙනාවේද ඇයයි…
ඒ… මට ඇය සමඟ බස්නැවතුමෙහි,
ඇයගේ බස් රථය එනතෙක් ඉන්නට වීම,
මට තරදරයක් යැයි ඇය සිතූ නිසාවෙනි…
මන්ද මම බසයෙහි යන කෙනෙක් නොවෙමි…
පයින් ගෙදර යන කෙනෙක්මි…
ඈ එසේ කලේ….
ඈ මට සැබෙවින්ම ආලය කරන නිසාම නොවේද?
දැන් ඇය තනිව යයි… මම පසුව යයි…
අප දෙදෙන යන්නේද දෙපැත්තකටය…
ගත මං දෙකක වූ නමුදු සිත එක මගකය…
දැන් ඇය තනිව යයි… ඇය කලින් යයි…
ඇයට මෙන් කලින් යාමට මගේ කාර්යාලයේ මට අවසර නැත…
දැන් මම යන විට, බස් නැවතුමෙහි, මා වෙනුවෙන්,
බලා සිටින කෙනෙක් නැත…
බස් නැවතුමට දැන් යාමටද වුවමනා නැත…
මන්ද, මම නිවෙස බලා පයින් යන කෙනෙක් නිසාවෙනි…
මම එහි ගියේ ඇය නිසාවෙනි…
අද සිට මමද තනිව යමි…
ජංගම දුරකථනයේ රේඩියෝව මගේ පාළු මකනු ඇත…
කවදාහෝ ඇයත් සමඟ එක මග එකට යන්නට කල් යල් බලමි…
එදිනට මට බස් නැවතුම අවශ්‍යය නැත…
ඈ අත අල්වා ගෙන මට පයින්ම අපේ ගෙදර යා හැක…
ඒ දවස ලඟ ලඟම එනු ඇත…
ලඟ ලඟම… මේ ලඟ ලඟම…
Thursday, January 15, 2009
Sunday, January 11, 2009
නින්ද
Saturday, January 10, 2009
බස්ටෑන්ඩ් එක
ඉස්කෝලෙ කාළේ කොල්ලෝ නිකරුනේ චාටර් වෙන්න යන්නේ බස්ටෑන්ඩ් එකට. උදේ ඉඳන් හවස් වෙනකල්ම ස්ටෑන්ඩ් එකේ කොට බිත්ති වලට පිට අලවගෙන ඉන්න අයත් හිටියා. කෙල්ලෝ බලන්න, දොඩමලු වෙන්න, ගැන්සියට සෙට් වෙන්න, තමන්ගේ තරහකාරයත් එක්ක අම්බානක කෙළ ගන්න, කිට මාරාගෙන ඇවිත් ෂෝ එක දෙන්න, ඇත්තටම බස් එක එනකල් ඉන්න, මේ වගේ සෑහෙන හේතු තිබුනා කොල්ලොන්ට බස්ටෑන්ඩ් එකට එන්න. හැබැයි ඉතින් ඒකේ වැරැද්දකුත් නෑ. කොච්චර මිනිස්සු, දුම, බස් හෝන් ඝෝෂාව මැද උනත් කිසි දෙයක් නෑහුන ගානට, වචනයක් දෙකක් හරි හුවමාරු කරගන්න බස්ටෑන්ඩ් එක තරම් නිදහස් තැනක් පෙම්වතුන්ට තවත් නෑ. පස්චාත් නූතනවාදය කියලා නිදහසේ කතාකරන්න කියලා ආදරේ කරන කෙල්ලත් ඇදගෙන ගෙස්ට්හවුස් ගානේ දුවන බොරු ලව් වඩා බස්ටෑන්ඩ් ලව් එක කොච්චර ආදරණීයද? හැබැයි බාල්දි පෙරළෙන තරමක් පෙරළෙන්නේ ඒ අසරණ ජෝඩු වලටමයි. සමාජෙ ඉස්සරහ ෆේඩ් වෙන්නේත් ඒ අයමලු. ගෙස්ට් හවුස් වල බිත්ති හතර මැද්දේ හැංගිලා ඉන්න අය ගැන කවුරුවත් දන්නේ නෑ.
හත්වලාමේ ඒ දවස් වල මම වැස්සකට වත් ස්ටෑන්ඩ් එකට ගිහිල්ලා නැතුව ඇති. ඒ තරම් ඉස්කෝලෙ දවස් වල ස්ටෑන්ඩ් එක මට අප්පිරියයි. කොළඹ යන දවස් වලට විතරයි බස්ටෑන්ඩ් එක මතක් වුනේ. අනිත් වෙලාවට ළඟින් යනකොටත් නිකම් මොකද්ද වගේ. ඒත් දැන්… තත්ත්වෙ හාත්පසින් වෙනස්… හැමදාම හවසට බස්ටෑන්ඩ් එකේ. මම කවදාවත් හිතුවෙ නෑ මමත් බස්ටෑන්ඩ් එකට බරක් වෙයි කියලා. මුලදී මුලදී මට ටිකක් බයත් හිතුනා අම්මට අහුවෙයි කියලා. ඒත් දැන් ආපහු අමුතුවෙන් අහුවෙන්න දෙයන් නෑ… ඒක දැන් ප්‍රසිද්ධ රහසක්…
Friday, January 9, 2009
ෆයිනල් කවුන්ට්ඩවුන් වවාගෙන කෑම
ලංකාවේ ඕනම පොඩි එකෙක් දන්නවා දැන් අපි ඉන්නේ අවුරුදු ගානක්ම කට්ටියත් එකකම බැට කාපු ඊළාම් යුද්ධයේ අන්තිම හරියේ කියලා. තව ටික දවසකින් අපේ කොල්ලෝ ඉතුරු අයින් කෑල්ලත් සුද්ද කරලා දායි. රටේ මින්ස්සු වගේම හමුදාවෙ කොල්ලොත් ඉන්නේ හෙන මොරාල් පිට. පහුගිය දවසක ලයිව් ඇට් එයිට් එකේ හමුදාවෙ අය්යන්ඩි කෙනෙක් කතා කරලා කිව්වා “ගිනනක් නෑ... දීලම තමයි එන්නේ...” කියලා. අන්න මොරාල්... ඔන්න ඔය අස්සේ අවස්ථාවාදියොත් සෑහෙන්න ඉන්නවා... යුද්ධේ වවා ගෙන කන උන්... පෙරේදා ඔෆිස් එකේ පියන් ඇවිත් මාව එලියට එක්කරගෙන ගියා. මම හිතුවේ පිං පත්තර කාරයෙක් වත් ඇවිල්ලා කියලා... මොකද පියන් උන්නැහේට මාව මතක් වෙන්නේ ඒ වගේ වෙලාවට විතරයි. බැලින්නං මෙන්න මරු වෙළෙන්දෙක්. හැබැයි කෑලි පහේ පිහි, පවුඩර්, තෙල් බේත් විකුණන මනුස්සයෙක් නෙමෙයි මේ යකා. එයා විකුනන්නේ යුද්ධේ. කැලැන්ඩරයක් එක්ක උතුරේ ජයග්‍රහණය රුපියල් 100යි. මරු බුවා... කිලිනොච්චි අල්ලලා හරියට දවස් තුනක් ගියේ නෑ. මේ යකා යුද්ධේ පොටෝ ටිකක් ගහපු කැලැන්ඩරයක් විකුනනවා රුපියල් 100ට. මම නම් ජීවිතේට සල්ලි දීලා කැලැන්ඩර් අරං නෑ. මූ කැලැන්ඩරෙයි යුද්ධෙයි දෙකම විකුනනවා. “හදවතින් අප යුධ බිමෙහි ඔබ තනි කලේ නැත කිසි දිනේ” කියලා ඒකේ ගහලා තියෙනවා. කතාව නම් ඇත්ත. අපිත් එහෙම තමයි. ඒත් මට හිතෙන්නේ ඒ මනුස්සයා යුද්ධේ බිස්නස් එකක් කරගෙන. දුප්පත් වුනත් බඩගින්නේ මැරිලා ගියත් රටේ ප්‍රෂ්නෙකදී අවස්ථාවාදි වෙන්න හොඳ නෑ. ඉස්සරත් යුද්ධේ බිස්නස් එකක් කරගත්තු මිනිස්සු හිටපු නිසා තමයි මේක මෙච්චර ඇදුනේ. නැත්තං මෙලහකට ඕක ඉවරයි. කැලැන්ඩරේ ගානෙන් කීයක් හරි හමුදාවේ කොල්ලොන්ගේ කෑම වේලකටවත් බැර වෙනවනම් මම ඒකක් ගන්නවා. ඒකේ එහෙමත් නෑලු. උන් අරෙහේ මැරෙනවා, මුන් මෙහේ උන්ව මරා ගෙන කනවා... දැන්වත් ඔය අවස්ථාවාදි වැඩ නැවැත්තුවොත් මේ පෙබරවාරි 4 වෙනිදා වත් සිරාවටම නිදහස සමරන්න පුළුවනි.
සාර්ථකත්වය
සාර්ථකත්වය... මේ ලෝකෙ ඉන්න ඕනම මනුස්සයෙක් තමන්ට ලං කරගන්න කැමති දෙයක්. හැම සාර්ථක මිනිහෙක් පිටිපස්සෙම ගැහැණියක් ඉන්නවා කියලා කතාවකුත් තියෙනවනේ. ඒත් මගේ පිටිපස්සේ ගැහැණු තුන් දෙනෙක්ම ඉඳලත් මම හිතන්නේ මට තාම බැරි වුනා කියලා ඒ සාර්ථකත්වය මට ළං කරගන්න. අම්මයි, නංගියි, මගේ ජ්වලිත දෙව්දුවයි හැම ති ස්සෙම මගේ ලඟ... ඒත් තාම මම සාර්ථක මනුස්සයෙක් නෙමෙයි කියලයි මට හිතෙන්නේ... ඒක ඒගොල්ලොන්ගේ වැරැද්දක් නෙමෙයි... මගේ අදහස ඒක මගේ වැරැද්ක්... තාත්තා දාපු ෆවුන්ඩේෂන් එක උඩ මගේ ජීවිතේ කියන ගේ හරියට යදා ගන්න මට තාම බැරි වුනා වගේ... තාත්තා දිව්‍යලෝකේ ඉඳන් මට බනිනවද දන්නෙත් නෑ... ජීවිතේ හරියට හදා ගන්න නෙමෙයි, හිතට එන මේ වගේ විකාර වගේ පේන ඒත් එහෙමම නොවෙන අදහස් සිංහල යුනිකෝඩ් අකුරු බවට පත් කරවන්නයි මේ උත්සහය... “සිතැඟි”... මේක මේන් කියල පිළිගන්නවන්න නම් මට වෙන කවුරුත් නෑ, මගේ පිටිපස්සේ හැමතිස්සේම ඉන්නවයි කියපු ගැහැණු තුන් දෙනා ඇරෙන්න... ඉතින් හා පුරා කියලා මගේ තුන් වැනි බ්ලොග් එක ඕන් එහෙනං “අම්මටයි”, “නංගිටයි”, “එයාටයි”...