Wednesday, May 18, 2011

වෙරි ඉකොනොමිකල් වෙසක් කූඩුවක් හදමුද?

ලමයිනේ දැන් වෙලාව රෑ 12:53. අද වෙසක් නේ. අනික මේක ඇවිල්ලා අනුන්ගේ ඩොන්ගල් එකක්. මොකෑ මට නැත්තං ගෙදට්ට ඩොන්ගල් නෑ නෙව. දඩි බිඩියේ කියන්ට ලෑස්තිය, වෙරි ඉකොනොමිකල් වෙසක් කූඩුවක් (කූඩුවක් කෙසේ වෙතත් බකට් එකක් වගේ එකක්) හදන හැටි ගැන. මේ ක්‍රමවේදය මට හම්බ වුනේ පුරාණ පුස් කොල පොතක් තිබිලා හරිය. :-)

මේ ටිකේම එක එක දිහාවේ කූඩු හදන්න ගිහිං හිටපු නිසා අම්මා දෝස් මුරේ දැම්මා මෙන්න මෙහෙම. “උඹ ගෙදර ලොකු එකා වෙච්චි, අපි බවුද්ද වෙච්චි, පංසලේ සාදුට නායක් පදවියක් හම්බුනා වෙච්චි, මේ 2600 වෙච්චි, උඹ අතන මෙතන පාරවල් පාරවල් ගානේ ගිහින් අනුන්ගේ කූඩු හදන්නේ ගෙදරට බකට් කෑල්ලක් වත් එල්ලන්නේ නැතැ....“ ;-)

අද උදේ පාන්දර ම මම නැගිටින කොට වෙලාව එකොලහ හමාරයි. ටක් ගාලා මම ලෑස්ති වුනේ වෙසක් කූඩුවක් හදන්න. හත්වලාමයි අද නෙව වෙසක්. සෑහෙන්න කඩවලුත් වහලා ඇති මයේ හිතේ. වෙසක් කූඩුවකට බඩු ගෙන්න විදිහකුත් නෑ. යන්නත් කම්මැලියි.  ඒ නිසා මම හිතුවා පුංචි කාලේ ඉස්කෝලෙදී අත්වැඩ කලා වගේ “ගෙවත්තෙන් සොයා ගන්ට පුළුවන් අපතේ යන දේවල්“ වලින් කූඩු කෑල්ලක් හදන්න. ගෙවත්තෙන් කිව්වට ගේ ඇතුලෙන් තමා ඔක්කෝම හොයා ගත්තේ.

එහෙනං නමෝ විත්තියෙන් සාදු කියලා වැඩේ පටං ගමු...

අවශ්‍ය දෑ:
1) පාන් පිට් ස්වල්පයක් (ගන්න හේතුව : පාප්ප හදන්න)


02) කට කැඩිච්ච පීරිසියක් හෝ කුඩා භාජනයක් (ගන්න හේතුව : පාප්ප දියකර ගන්න.)


03) කුඩා දර කෝට්ටක්. (ගන්න හේතුව : පාප්පේ හොඳ පදමට අනා ගන්න)


04) කතුරක් (ගන්න හේතුව : කොල කපා ගන්න)


05) හොඳ අළුත් පොල් මුඩඩක් (ගන්න හේතුව : ඒකෙන් තමා පාප්ප ගාන්නේ. නැත්තං නාන්න වෙනව)


06) පරණ කාඩ් බෝඩ් පෙට්ටියක් (ගන්න හේතුව : කූඩුව හයියට තියා ගන්න)


07) මහේල ඉන්න පරණ ඉංගිරිසි පත්තරයක් (ගන්න හේතුව : ඒවැයින් තමයි කූඩුව හදන්නේ)


08) අම්මෙක්, නංගියෙක්, අක්කෙක් හෝ බාරියාවක් (ගන්න හේතුව : තේ එකක් කාරිය හදා ගන්න සහ අන්තිමේ අස් පස් කරන්න)

දැන් හදන විදිහ හරිය:

ඉස්ටෙප් වන්) : මුලින්ම පත්තරේ ලොකු කොලේ තියෙන විදිහටම දෙකට නමා ගන්න. පිටු දෙක එක උඩ එක එන විදිහට. නමල හිටං පහල පිංතූරේ තියෙන්නා වාගේ තුන් හුලස් වෙන්න එක තැනකිං හරි කිහිප පොලකින් හරි නමා ගන්න. මේ සාම්පල් එකකි. ඇත්ත පත්තරේ නෙමෙයිය. ;-)


ඉස්ටෙප් ටූ) : එකොල්ලා හිටං අර කතුර අරගෙන තීරු තීරු කෙලිං අතට හරි ඇලේට හරි මෙහෙම මෙහෙම ඒ තුන් හුලස් කෑල්ල කපා ගන්න. හරිය පැහැදිලියිනේ. කපා ගන්න ඉට්ටැයිල් එක අනුව කූඩුවේ ෆිනිෂිං වෙනස් වේ.

ඉස්ටෙප් ත්‍රී) : කපා ගෙන හිටං අර කාඩ් බෝඩ් එකෙනුත් තීරුවක් කපා ගෙන රවුමට තියලා පාප්ප වලින් අලව ගන්න. (මල හුට්ටප්පරයයි, පාප්ප හදන කෑල්ල කියන්න බැරි වුනා නෙව) ඇලවෙනවා හොරයි වගේ නං ඉස්ටේපර් කටු දෙකක් තලා ගන්ට. (එව්වා මුලින් ගන්නයි කිව්වේ නෑ කියලා අඩව් අල්ලනවා නෙමෙයි ඕං)

මේ න් මේ වගේ මොඩල් එක හරිය. ඩිංගිත්තක් ඇද වුනාට කාරි නෑ.


*******
දැං ඉන්ට්බල් එහෙම නැත්තං. තේ විවේකේ ලබනවා ඈ. දැං අම්මට හරි නංගිට හරි අක්කට හරි බාරියාවට හරි කියලා හොඳවැයිං පිටි සීනා දාපු තේකක් හදං බොන්ට.  ටැං ටැං ටැං ඉන්ටිබල් අහවරයි. බැක් ටු වර්ක්.
*******
ඉස්ටෙප් ෆෝ) : එකොල්ලං හිටං අර පත්තරේ කපාපු රැලි හරහට හිට්න්න එක කෙලෝරක් කාඩ් බෝඩ් රවුම වටේ අලෝ ගන්න පාප්ප ගාලා. ඒ... අතේ පයේ පාප්ප ගාගන්න එපා බොල. අර පොල්මුඩ්ඩ ගත්තේ එකට නෙව.මේ ඩිස්ප්ලේ එකේ පෙන්නලා තියෙන්නේ තුන් හුලස් සැට් තුනකට හිට්න්න කපා ගත්ත පත්තර කෑල්ල අලෝපු හැටි ය.


ඉස්ටෙප් ෆයිව්) : එක කෙරෝලක් අලවලා හිටං අනික් කෙරෝලත් අලෝගන්න. එකෙල්ලා කෙලිං කොරාම මේං මේ වාගේ පෙනෙයි.
දැං ඔය විස්සෙං දෙකක් දාගත්තා වගේ හිටියට එල්ලුවාම කෙලිං වෙනවා.

ඉස්ටෙප් සික්ස් ) :  දැං ඉතිං ඔය  මොක්ක හරි අමුණල කරල එල්ලන එකයි ඇත්තේ. පස්සේ අස්සට පාට ලැයිට් බලුබ් එකක් කාරිය දැම්මම තමා හරි ජාති. ආව් අප්පා... කෝමෙයි ඩීසොන් එකට ඉන්න උජාරුව.

මේ තියෙන්නේ තුං හුලස් සැට් තුනකට කෙලිං අතට කපාපු එකක් රතට රතේ දිලිස් දිලිසි.


මේ තියෙන්නේ තුන් හුලස් සැට් එකක් හරහට තීරු කපාපු එකක්. මං කිව්වේ ඔය කොල පාට එක.


ඔයි නිල් පාට එකත් සැට් තුනකට යි කැපුවේ. හැබැයි වැඩිය තදේට නමන් නැතුව.


හප්පේ කෝමෙයි අපූරුව. ලෝ කොස්ට්. වෙරි ඉකොනොමිකල්. පැය එක හමාරෙන් ගේම අහවරයි. දැං තමයි අමාරුම හරිය. වල් වෙච්චි ගේ පොඩ්ඩ අස් පස් කරන එක. ඒ රාජකාරියටත් අර ඉන්ටිබල් එකේ එකතු කර ගත්ත කාන්ඩෙන් කෙනෙක් සම්මාදං කරගත්තා නං සේප්.  ඉහල පොටෝ මනාව කොලිටියට නැතුවට සමාව. එඩිට් කොරේවත් නෑ ආයිබෝවන්ඩ. යහමිං බලන්ට ඕන නං පහලින් ඩිංගක් බර පොටෝ කෑලි දෙකක් දාන්නං.

එහෙනං ආයිබෝවං කිව්වා. මෙව්වා ඉපැරණි රහස් ක්‍රම පුතෝ. පිටකට එහෙම දෙනවා නෙමෙයි. තේරුනා නෙව. උඹලට දෙදසේ පන්සිය පනස් පස් පාරක්... ෂැක් වැරදුනා.... දෙදාස් හයසිය පාරක් බුදුසරණයි!!! අද උදේම “සදා සොත්ති“ කියලා ඇස් අම් ඇස් එකකුත් ලැබෙන්ට ඇතිනේ... ;-)

මේං අර ලාවට හයි කොලිට් දෙක. යහමින් බලන්ට ඕන්නං කොටන්ට...


ඔයි අටපට්ටම කොයින් කියලා හෙම අහනවා නෙමෙයි. :-) මහ කොරලා ලං වෙලා හොඳට බැළුවොත් ඇබෑර්තු එහෙමත් පේන්ට බැරි නෑ ගොයියෝ...! :-)

Thursday, April 28, 2011

අළුත් අස්සයා පිටේ සැළලිහිණියා සොයා යාම

මෙය අපි ඊයේ පෙරේදා ගිය වෙරි ඉකොනොමිකල් හදිසි ට්‍රිපක් වූවාය. ප්ලෑන් කර ට්‍රිප් යන්නට මේ ටිකේ අතේ මිටේ මුදල් නැත්තාහුය. මේ සඳහා වියදමකට ගියේ මැගී 4ට රුපියල් 200ක් සහ ප්‍රෙටල් වියදම පමණක් මැ. එසේ වූ කතාව මේසේ යැ.

එදවස පසු ගිය 17 වැනිදා විය. අවුරුද්දට කියා නෑයෙක් මුනිච්චි වෙනවත් කොයි අහක වත් නොගිය මා හට කදිම සිතක් පහල වීය. මේ මනරම් බක් මසයි. එක් පසෙකින් රබන් සුරල් යැ. අනෙක් පසින් කොවුල් ගී යැ. පසෙකින් කැවුම් සැදෙද්දී අනෙක් පසින් ගමේ යුවතියන් ඔන්චිලි පදිමින් ඔන්චිලා වාරම් කියත්.  අපේ ගම එච්චරකට ආතල් යැ. ආතල් එකේත් උපරිමයැ. මෙහෙවු ආතල් ඉවසා වැදෑරිය නොහැකි තැන මා සිත් ලූයේ බ්ලොගීද පටවා ගෙන මාගේ නව අස්ස පුත්‍රයා පිට සැළලිහිණියා සොයා යෑමයි. බ්ලොගී නම් ඔබ දන්නේයැ. නව අස්ස පුත්‍රයා නම් අළුත් හොන්ඩා බාජා 250 CC යන්තරේ මැ. එසේනම් සැළලිහිණියා කවුදැයි දැන් පවසන්නේයැ.

මෙවන් මනරම් බක් මසකදී අපේ ගම් වල අවුරුදු ගැමි කෙලි සෙල්ලං ඉහ වහා යද්දී මේ ආසන්යේ මධ්‍යම කඳුකරයේ කේන්ද්‍රයේ හරි හරි වැ‍ඩ සිදුවෙන්නේයැ. පසෙකින් මල් ෂෝ ය. පසෙකිව් ෆැෂන් ෂෝය. තවත් පසෙකින් කොල්ලන් ඕෆ් රෝඩ් බයික් පදිද්දී තවත් කාණ්ඩයක් මඩ නාගෙන හතර වරක් හතර (4x4) ජීප් පදිතැ. 

කොන්ක්‍රීට් වනය එපා වූවෝ වැව් ඉස්මත්තේ වාඩිවි, කති, බොති, තෙපලති, ගයති, නටති, සැතපෙති. අයෙක් බෝට්ටු පදින කල්හී තවත් අයෙත් වැවේ පාවෙන බෝලයක් තුල යකා නටන්නේයැ. රාත්‍රියට බාබක්‍යු යැ. මියුසිකල් ෂෝ යැ. හාත්පස පට්ට සීතලයැ. එබැවින් ගිනිමැල යැ. කොටින්ම පට්ට ආතල් යැ. යතෝක්ත සැළලිහිණියා වූ කලි ඔය කී ප්‍රපංචයමැ.

මෙය අපට මෙන්ම සැලලිහිණියාටද වසන්තයම වූහ. එබැවින් එදින මධ්‍යහන හෝරා දහයකුත් එකක් පසුවී විනාඩි තුනක් වූ කලි බැග් කැරියර් හී බැඳ කලිසම් ද ජැකට් ද සාළු ද ඇඟ වටක් ඔතා අස්සයා පිට නැගි හිටගෙන කික් කොට ඌ පණ ගන්වා හෝරාවකට මයිල 40ක් හෝ 50ක ඔට්ටුවට නුවරඑලිය බලා බණ්ඩාරවෙල සිට ඇද්දාහුය.

මෙපමණ අරුමයකි. හැල්මේ පැදගෙන වැලිමඩත් පහුකර ආපසු බොරගස් සිට හක්ගල හරහා නුවරඑළිය මධ්‍යය දක්වාම පට්ට ට්‍රැෆික්යැ.  ලක්ස 30, 40, 50, 60 සහ ඊට වැඩි ආදී වූ අනේක විධ මිල ගන්න ඇති වටිනා සිව්සක් රියන් හී නැග කොළඹ රටේ පොෂ් ඩයල් නුවරඑළිය බලා ඇදෙති. ඒ සැළලිහිණියා දැකබලා ගැනීමේ අටියෙනි. නමුදු පාර අබලන්යැ. එබැවින් ට්‍රැෆික්යැ. එපමණක් වූ ට්‍රැෆික් මැද්දෙන් අරෙහෙන් මෙහෙන් දම්මා කාර් වෑන් කැබ් පිකප් වල කනෙන් රිංගා ඔවුන් ඔල්මොරොන්දම්ව හෝරා තුන හතරක්  ට්‍රැෆික් ජෑම් මැද්දේ බලා සිටියදී විනාඩි 45ට රූං ගා (සොරි ග්රූම්  ග්රූම් ගා) ගමනාන්තය‍ට ලඟා වූවෙක් වේ නම් ඒ අපි පමණක් වූහ.

එපසින්ද මෙපසින්ද ට්‍රැෆික් ජෑම්ය. ජෑම් කෙසේවෙතත් ට්‍රැෆික්ය.


අපි ග්‍රෙගරි වැව ඉස්මත්තට සැපත් වූයෙමු. හොන්ඩා සිවික්, ටොයෝටා ප්‍රියස්, ඩොල්ෆින්, ලෑන්ඩ් රෝවර් මැද අපේ අස්සපුත්‍රයාත් ගාල් කලෙමු. මුත්‍රා ඩිංගක් පිටමං කිරීමට නැවත නගර මධ්‍යයට ගිහින් ආවෙමු. එවන් කැසිකිළියක් මං නම් දිවිතිබූ තුරා දැක නැත්තේය. එවන් සුඟන්දයක් මින් පෙර විඳ නැත. ශ්වේත වර්ණ සෙරමික් පෝච්චි වල එකි නෙකාට අයත් දුඹරු පැහැයට හුරු කහ පැහැ මුත්‍රා දියර සුදු පැහැ පෙණ බුබුලු දමමින් නැගී පිරී ඉතිරී යන්නේයැ. ඒ නම් මේ දැන් කෙනෙකු මෙය පිරවූ බවට සාධකවේයැ.

මුත්‍රාකර නැවත වැව් ඉස්මත්ත‍ට ආපසු අප ‍දුටු දර්ශණයෙන් අපම මවිත වූහ. අපි එපමණක් පීඩා විඳ නගර මධ්‍යයේ පොදු කැසිකිලියේ මුත්‍රා කල නමුදු අයෙක් බොහෝ නිදහසේ වැව් ඉස්මත්තේම තම කාර්යය ඉටුකර ගත්තාහුය.




අපි මැගී කෑවෙමු. ඕනෑනං බාබක්‍යු සහ ඉස්ටයිල් එකට තාච්චිය උඩ දදා නට‍ නටා පිසූ මේ දැන් ලිපෙන් බාන ලද ෆ්‍රයිඩ් රයිස්ද තිබුණි. මිල වැඩි නිසා අපි ඒදෙස වත් නොබැලුවෙමු. මැගී දෙකක් මදි වූ තැන තවත් මැගී දෙකක් ගෙන ආවෙමු. කෑවෙමු. තෙපලුවෙමු.

මේ සැළලිහිණියා නම් මනරම්යැ. පසෙකින් හරිත පැහැයට කඳු සහ තේ වතුය.


තවත් පසෙකින් පෙර කී ලෙස වට පිට හුදී ජනයා අරභයා ටටා පෙන්නමින් බෝට්ටු පදින සංචාරකයන් පිරිසකි.




‍අයෙක් ලෝක කුසලාන සහ අයි පී එල් උණ වැදී වැව් ඉස්මත්තේ ක්‍රිකට් ගසති. හිස් ලූ ලූ සැම දෙසකම ජනී ජනයා ඔවුනොවුන්ට ආවේනික වූ ආතල් ගන්නේය.


අයෙක් වැව මැද්දේ පාවෙන හුලං පිරවූ බෝලයක් තුලටවී කෙලින් නැගී සිටීමට දෙන ට්‍රයි එක බලන්නම වටින්නේයෑ.


 එම මනුස්ස පුත්‍රයා ඒ තුලම හතර ගාතෙන් වැටෙන ආකාරය දැක වටේ සිටින්නෝ ප්‍රීති වූහ. මා සමග ගිය බ්ලොගියාගේ මූනද ඇද වූයේ ඔහු වැටෙනවා දැකීමෙන්ය.


බැලුන් පැදීමට තවත් අයෙකූ ගාටන තෙක්, බැලුම් ඕර්ගනයිසර් යුවතිය බැලුම අකුලා ඒ ඇසිල්ලෙන් තෙලපවුසුව ආධාරයෙන් තම ප්‍රිය පෙම්වතා අමතා බොලඳ බස් දොඩන්නී, මා කැමරාව මාන්නන අයුරු දැක ඉවත බලා ගත්තාය.


මිනිස් තුන්පත් රෑනක් එනම් මව පියා සහ පුතනුවන් තණ බිස්සේ බෙඩ් ෂීට් එලා ගෙන දරු සුරතල් කරන්නේයැ. පහත පැනොරාමාව මත මූසික ඔබා මහ කර බලන ඔබට මැද හරියේ ඔවුන් දිස්වෙති.


එපසින් වැව් ඉස්මත්තයැ. අනෙක් පසින් ග්‍රෙගරි වැව ද ඇත්තේය. වැවෙන් එහා ඉස්මතතද මෙවැනිම සංදර්ශණ වලින් පිරී ඉතිරී යන්නාහුය.


මේ සියළු විච්චූරණ මධ්‍යයේ එදාවේල සපයා ගැනීමට දියෙහි රඟ දෙන මත්ෂ්‍යයෙක් විශේෂයක් අල්වා ගැනීමට හොරාගනනක් නොසෙල්වී සිටි අයෙක් විය. ඔහු නමින් අංකල් යැ. මේ ඒ අංකල්ය. පැයි දෙක තුනක් අවසනදී ඔහු හොඳ අස්වැන්නක් ලැබීය.


පොටෝයන්ත්‍රය තණකොල බිස්සක රඳවා ඔටෝ ටයිමින් කොට මේ ගත්තේ අපේ පිංතූරයකි. යන එන මග තනි නොතනියට ඇයට මාව මෙන්මැ මාට ඇයම වේමැ.  කා අහවර වූ මැගී කෝප්පයක්ද පසෙකින් සිනා සෙනසේය.


මේ නම් අප වටා ඇති කුදු මහත් ලෝකය බ්ලොගී ගේ සයිබර් පහරේ මොනවට සටහන් වූ ආකාරයයි.  මෙතැන නම් ඇත්තටම පොළව ඇදය. මන්ද යත් ඒ වැව් ඉස්මත්තේ සිට වැව තෙක් වූ බෑවුම නිසාවෙනි.


හිමකිරම රැගත් බයිසිකල් වල නැගී මාමලා වෙලඳාම් කරන්නේය. හිම කිරම රස බව දන්නා වුවත් ඒ දෙස බලා පමණක් සතුටු වීමට අපි ඉටා ගතිමු.


ඒ අතරෙමැ මෙවැනි මොඩර්න් ෆැෂන් වලට වහ නොවැටුනාවූ, තමන් හැමදාම දකින වැවේ, වැව් ඉස්මත්තේ ආතල් ගන්නට රෑන් පිට්න් ආ ආගන්තුකයන් නොදූටූ දෑස්ව, එවුනගේ සංගීත රාවයන් නොඇසූ කන්ව, ලැයිම යැයි නමු තැබූ තමන්ගේ මන මන්දිරය සොයා ඇදෙන්නාවූ වතු වැසියන්ද නැත්තාහු නොවේ.


දැන් රිටර්න් බැක් එකට වෙලාව සරිය. පසෙකින් ඕෆ් රෝඩ් බයික් සහ ජීප් රේස් හඬ ඇසේ. ආ. මේ නම් ජීප් රථයකි. ඌරෙකු නොව ජීප් ම රථයකි.


දැං යමුය. මේ මාගේ ගමන් සහායිකාව සහ අස්ස පුත්‍රයාය. හිස් මැගී කෝපප සහ මයිලෝ ඩප්පි අතැතිව ඇත්තේ ඈය. තඩි ඇස්ගෙඩි දෙක විහිදාගෙන අප දෙස බලාසිටින්නේ ඌය.


 හෝරා කිහිපයක විවේක‍යකින් පසු බොම්බයි මොටයි එකක් බ්ලොගී අත‍ට දී ඈ සනසා නැවත බණ්ඩාරවෙල බලා අස්සයා පිටින්  විද්දේ වර්ෂාවට පෙර සැළලිහිණියාට අයුබෝවේවා කියමින් මීල අවුරුද්දේත් නැවත එන පැතුමෙනි.


උක්ත රචනාව කියවා දිව සැපුණු අය ගැන වගකීමක් රචකයා විසින් දරණු නොලබන බව සලක‍න්න.

Wednesday, February 2, 2011

The බයික් කවිය

සිලින්ඩර් ම හතරයි එන්ජිම                                              ලොකුය
කාබ් එකක් හරි ලෙඩ දුන්නොත්                                      සොරිය
ෂොක් එක මොනෝ, යන එන කොට නම්                         සැපය
කෙට්ටු අපට හොන්ඩා හොනට් ලොකු                              වැඩිය



අඩි හතරට පහට වඩා වැඩි                                                  වෙච්චී
ලොකු හෙඩ් ලයිට් දෙක ඇස් ගෙඩි දෙක                           වෙච්චී
ගහේ යන එකත් කජ්ජක් නොම                                        වෙච්චී
අනේ මට හොඳයි බාජා ටූ                                                   ෆිෆ්ටී



මැෂින් නැතව මැනුවල් හයි කර                                     කෑලී
ඇමරිකානුවන් මේවට හරි                                          ලෝලී
පස්සේ තියාගෙන තම ආදර                                           බාරී
කොල්ලො පදිනවා ඩේවිඩ්සන්                                     හාලී



කොල්ලට කොහෙ වෙතත් බල්ලට නම්                         නොහැකී
දිගට වඩා පළල වැඩියි ‍ගොඩ                                            නැවකී
රෙස් පදින ලැයිසන් ඇති ම‍ගේ                                             සකී
ෂේන් පදිනවා තවුසන්                                                   කවසාකී



මඩේ යන්නෙ ටී ඩබ්ලියු ‍                                            ටූ හන්ඩ්‍රඩ්
ගලේ යන්නෙ ටී ඩබ්ලියු                                             ටූ හන්ඩ්‍රඩ්
කැලේ යන්නෙ ටී ඩබ්ලියු                                           ටූ හන්ඩ්‍රඩ්
උල පිල එකයි ටැක්ටරේට                                          ටූ හන්ඩ්‍රඩ්



ටී ටී ආර් එකයි එක්ස් ආර් එකයි                                      පොරේ
රේස් පදින කොට කොල්ලන් කියයි                                   හුරේ
ලිමිට් පැන්නොතින් අල්ලං දමයි                                        හිරේ
ඩීටී පදියි තේ වත්තේ සින්න                                          දොරේ


හතලිස් නමය සී සී එන්ජිම                            චූටී
දම්පාටයි ලා රතු පාටයි                                ස්වීටී
වර්කිං ගර්ල්ස්ලගෙ තනි නොතනියට             සිටී
කොල්ල පස්සෙ, කෙල්ල පදියි                    ස්කූටී



පල්සර් තිස් පහයි හතලිහ අතර                                       කරයි
ඩිස්කවරියත් තව ඩිංගක් වැඩිය                                       කරයි
බොක්සර් එක ලීටරේකට හැටක්                                    කරයි
සී ටී එක පෙට්‍රල් සුවඳටත්                                              දුවයි



කාර් වෑන් පැජරෝ ලොක්කන්                                      ගේය
ඒසී එකේ යනකොට සුර සැප                                       වේය
වැස්සට තෙමී අව්වට අපි වේ                                       ලේය
හැබැයි,
මේවගෙ තියන ආතල් ඒවගෙ                                      නෑය




අවවාදයයි:
ඉහත ඇති පොටෝ කෑලි එකක් වත් මගේ බූදලයක් නොවේ. ඒවා අයිති ඒවා ගසපු අයටය.


Monday, January 31, 2011

දෙසක් රියේ චාරිකාව 4 - කඳු මුදුනේ ප්‍රෞඩත්වය

ආයුබෝවන් කිව්වා කස්ටියට. කොහොමද සැප? සනීප? ඔන්න අදත් දෙසක් රියේ චාරිකාවක් අරගෙන එන්නයි ලෑස්තිය. මේ ට්‍රිප් එකත් ටික දවසකට කලින් ගිය එකක් ඕන්. හරියටස කිව්වොත් ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2010 නොවැම්බර් 26 වෙනිදා. බ්ලොගීයි මායි ටිකක් හුරුපුරුදු දිහාවක යන්න ලෑස්ති වුනා. අපි එතැනට “කඳුමුදුනේ ප්‍රෞඩත්වය” කියලා ආමන්ත්‍රණය කෙරුවොත් වැරදි නෑ. ඒ තමයි ඇඩිෂම් මන්දීරය. හැබැයි ඉතිං වෙනම ට්‍රැවල් බ්ලොග් එකක් ලියන නිසා චාරිකා විස්තර මෙතන දාන්න ඔට්ටු නෑනේ. ඒ නිසා මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ලා බලන්න.

Friday, January 21, 2011

මෝටර්බයික් ලොවේ ට්‍රැක්ටර් සංස්කෘතියට අත ගැහීම හෙවත් කළු මල්ලීගේ කතාව


ආයිබෝවන් කිව්වා කස්ටිය‍ට. කොහොමද සැප? දුක? වැස්සත් ඉවරයි නේද? දැං නං ටිකක් නිවීහැනහිල්ලේ ඇති කස්ටිය.
ඔන්න එහෙනම් අදත් කියන්න යන්නේ බයික් කතාවක්. :)
දන්නවද වැඩක්. මෝටර් බයික් ලොවේත් ට්‍රැක්ටර් සංස්කෘතියක් තියෙනවා. මඩේ යන්න, ගල්ගොඩේ යන්න, කැලේ පනින්න, වැල්ලේ බීච් එකේ යන්න, කඳු නගින්න වගේ ට්‍රැක්ට්ර් ඇක්ටිවිටීස් කලාවක් බයික් ලෝකේ තියෙනවා. ඇඩ්වෙන්චර් රයිඩින් ගණයට අයිති මේ විගඩං පාන්න වෙනම මෝ‍ටර් බයික් ජාතියක් තියෙනවා. 

Friday, December 17, 2010

සින්ඩියක් කතා කරයි

http://www.attraction-marketing-techniques.com

උඹලට මාව මතකද? නෑ නේද? කොහේ මතක තියෙන්නද?
දැන් උඹලට මට වඩා එකාලා ඉන්නවනේ.

මතකද උඹලා චූ කොල්ලෝ කෙල්ලේ කාලේ බ්ලොග් ලියන්න පටන් ගත්ත අලුත...
උඹලා දවස තිස්සේ මයේ ලඟට වෙලා F5 ඔබ ඔබ හිටයා නේද...
උඹලට වෙන වැඩක් තිබ්බෙම නෑ ඒ ඇරෙන්න ඒ කාලේ...

Monday, November 29, 2010

නම් වෙනස් කිරීම සහ සතියේ බ්ලොග් පුවත් ;-) හික් හික් @@#$$%%


ටී..ක්   ටී..ක්   ටී..ක්   ටී..ක්   ටී...............ක්...

ආයුබෝවන්..!

වෙලාව උදෑසන 6යි.

මේ සිරිලංකා බ්ලොග් කොම්පැණියේ සිංහල සේවයයි...

සතියේ පුවත්...

මුලින්ම සිරස්තල...